අතරමැද කාලයකදී කැබිනට් සංශෝධනයක් කරමින් ජනතාවට මුහුණදෙන ප‍්‍රථම ආණ්ඩුව මෙය නොවේ. පැහැදිළිවම, එසේ කරන අවසාන ආණ්ඩුවත් මෙය නොවනු ඇත. අහිතකර කොන්දේසි තමන්ට එරෙහිව නැගී සිටින හැම අවස්ථාවකම මේ දක්වා බලය හොබවා ඇති සෑම ආණ්ඩුවක්ම කැබිනට් කාඩ් කුට්ටම විටින් විට අනා තිබේ. ඡන්දදායක ජනතාව කෙරෙහි ඇති බැඳීම අරභයා තමන් තුළ නව දිරියක් ඇතැයි යන මායාමය හැඟීම ජනතාව තුළ ජනිත කැරැවීම සඳහා එසේ කරනු ලැබේ. එයින් පාලකයන් බලාපොරොත්තු වන්නේ, ජනතාව විසින් පාවිච්චි කරන ලද ඡන්දය නිරපරාදේ නාස්තිවීමට තමන් ඉඩ නොදෙන බව සපථ කොට සිටීමයි.
දෙවැනි වරටත් කැබිනට් සංශෝධනයක් කිරීම තුළ වර්තමාන පාලකයන් ඊට වෙනස් පිරිසක් විය හැකි ද යන්න තවම කිව නොහේ. එසේ වෙතත්, අගමැතිවරයා විසින් නීතිය හා සාමය අමාත්‍ය පදවිය භාර ගනු ලැබීම, දූෂණයට එරෙහි ක‍්‍රියාන්විතය ශක්තිමත් කිරීමටත්, වසර තුනක් තිස්සේ රස්තියාදු වෙමින් තිබූ ප්‍රධාන දූෂිත සිදුවීම් පිළිබඳ කඩිනම් පියවර ගැනීමටත් ඉවහල් වෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.
ඉතිරි කැබිනට් සංශෝධන කිහිපය තුළත් වැදගත්කමක් තිබේ. සංශෝධනයට ලක් නොවූ කැබිනට් තනතුරු සම්බන්ධයෙන් ගත්විට, ආර්ථික ස්ථායීතාව ආරක්ෂා කර ගැනීමටත්, මේ ආණ්ඩුවේ ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමටත් ඇති සූදානම පෙන්වයි. මුදල් කටයුතු, ජාත්‍යන්තර වෙළඳාම සහ ජාතික ප‍්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යාංශවල වෙනසක් සිදු නොවීම අගේ කළ යුතුය.
ආචාර්ය හර්ෂ ද සිල්වාව අමාත්‍ය තනතුරකට උසස් කොට තිබේ. මහ බැංකුව කෙරෙහි යම් අධිකාරී බලයක් ද සහිතව රටේ ආර්ථිකය කළමනාකරණය කිරීමේ යම් අවකාශයක් ඒ ඔස්සේ ඔහුට ලැබී තිබේ. මුදල් අමාත්‍යාංශය සමග එක්ව, රටේ ෆිස්කල් සහ මූල්‍ය ප‍්‍රතිපත්ති තුලනය කර ගැනීම අරභයා ඔහුට ලැබී ඇති බලය, 2019 සිට අතිවිශාල ණය සම්භාරයක් ගෙවා දැමීමට නියමිතව ඇති රටකට තීරණාත්මක වනු ඇත. අඛණ්ඩත්වය, ඕනෑම ආණ්ඩුවකට ඉතා වැදගත් දෙයකි. ඊට අදාළ අමාත්‍යාංශ කැබිනට් සංශෝධනය තුළ එහා මෙහා නොවීම ඒ අතින් ගත්විට වැඩදායකය. එය ජනාධිපතිවරයාගේ දුර්වල කමක් වශයෙන් නොව, ප‍්‍රතිපත්තිවල සංගතභාවය ආරක්ෂා කර ගැනීම සඳහා ගත් පියවරක් වශයෙන් ගත යුතුය.
පෙර පරිදිම, එක්සත් ජාතික පක්ෂය, මේ කැබිනට් සංශෝධනයේ වටිනා තුරුම්පු තමන් සන්තකයේ තබාගෙන තිබේ. එහෙත් දැන්, ඒවා හරහා පැහැදිළි වෙනසක් පෙන්වීමේ වගකීමත් එම පක්ෂයට පැවරී තිබේ. රාජ්‍ය ව්‍යවසායන් තුළ තව තවත් රැකියා දීමෙන්, එම ව්‍යවසායන් නඩත්තු කළ නොහැකි, පාඩු ලබන තත්වයට පත් නොකොට පවත්වාගෙන යා යුතුව තිබෙන අතර, ඒවායේ ව්‍යුහයාත්මක වෙනස්කම් කරමින් මහජන මුදල් උරාබොන ආයතන බවට පත්වීමට ඒවාට ඉඩ නොතැබිය යුතුය. කොටින්ම මේ ආණ්ඩුව පටු දේශපාලනයට යට නොවී, රාජ්‍යකරණය බරසාරව සැලකිල්ලට ගත යුතුව තිබේ.
මේ කැබිනට් සංශෝධනයේ අවසාන ගමන්මග කුමක් වෙතත්, එක දෙයක් පැහැදිළිය: ආණ්ඩුව මොන තරම් එඩිතරකමක් ලෝකයාට පෙන්නුවත්, ඇතුළේ ගැටුම් මතුවෙමින් තිබේ. ඒ අස්සේ දෙපාර්ශ්වයම, අඩු වශයෙන් මූනිච්චාවටවත් ‘එක්සත්භාවය’ රැක ගැනීමට වෙර දරති.
පළාත් පාලන ආයතන මැතිවරණයේ ජයග‍්‍රාහී ප‍්‍රතිඵලවලින් උද්දාමයට පත්ව සිටින එ්කාබද්ධ විපක්ෂය, එක්සත්ව සිටීමට ආණ්ඩුව දක්වන නොහැකියාව සහ ඒ හේතුවෙන් ජනතාව සඳහා ඇඟට දැනෙන සහන සැලසීමට ආණ්ඩුව අපොහොසත් වීම, උපරිමයෙන් තමන්ගේ වාසියට යොදා ගැනීමට මාන බලයි.
ආණ්ඩුව කෙරෙහි මෝදුවෙමින් පවතින ජනතා අප‍්‍රසාදය අස්සේ මොන තරම් කැබිනට් සංශෝධන කළත්, ආණ්ඩුව පැත්තෙන් පවතින සීමා කම් වහා ජය නොගත්තොත්, හ ුදෙක් මේ සංශෝධන හරහා පමණක් 2020 වනවිට මේ ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට හැකි වේද යන්න සැක සහිතය. කාලය වේගයෙන් ගෙවී යයි. ජනතා තීන්දුව තමන් පිළිගන්නා බව ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ප්‍රකාශ කොට තිබේ. 2015 දී තමන්ට ලබාදෙන ලද ජනතා වරම ප‍්‍රකාරව අවශ්‍ය කරන වෙනස්කම් වහා ඇති කරමින් ඉදිරියේදී කටයුතු කිරීමට පියවර ගන්නා බවත් ඔවුන් දෙදෙනාම ප‍්‍රකාශ කොට තිබේ. ජනතාව දැන් ඒ දෙස ඕනෑකමින් බලා සිටිති.
2018 පෙබරවාරි 26 වැනිදා, ‘ඩේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවු, ‘Shuffling or Striding Forward ?’ නැමැති ලිපිය සිංහලට පරිවර්තනය කෙළේ ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.
0 comments :
Post a Comment