සූර්යාභිෂේකය : මහානගරයේ මහ අවුරුදු අපේ‍්‍රල් 08දා.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයත්, අනුබද්ධ ආයතන සහ රාජ්‍ය හා පෞද්ගලික ආයතන ඒකාබද්ධව සංවිධානය කරනු ලබන සූර්යාභිෂේකය - 2018, මහානගරයේ මහා අවුරුදු වසන්ත සැණකෙළිය අපේ‍්‍රල් 08 වන ඉරිදා දින උදෑසන 07.00 සිට මධ්‍යම රාත‍්‍රී 12.00 දක්වා කොළඹ නිදහස් චතුරස‍්‍ර පරිශ‍්‍රයේදී අදියර 4 ක් යටතේ පැවැත්වෙන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අද(28) උදෑසන නිදහස් චතුරස‍්‍රයේදී යෙදුනු කප් සිටුවීමේ නැකැත් චාරිත‍්‍රයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ය.

කප් සිටුවීමේ නැකැත් චාරිත‍්‍රයේ මංගල පහන දැල්වීම අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කළ අතර මෙම අවස්ථාවට අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ද එක් විය. සුභ මොහොතින් කප් සිටුවීම විෂය භාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර එම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, අමාත්‍යාංශ ලේකම් ඉංජි. නිහාල් රූපසිංහ ප‍්‍රමුඛ ආයතන නිලධාරීන් ද එක්විය. එදා මෙදා තුර ශ‍්‍රී ලංකාවේ විචිත‍්‍රවත්ම මහා වසන්ත සැණකෙළිය සහ වෙළඳ සල්පිල බවට සූර්යාභිෂේකය - 2018 සැලසුම් කර ඇත. අතිගරු ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මහා අවුරුදු උත්සවය උදෑසන 7.00 සිට සවස 5.30 දක්වා ටොරිංටන් ක‍්‍රීඩාංගනයේදී පැවැත්වේ. ස්ටෑන්ඩඞ් පාපැදි තරඟය, කොලොන්තොට හරහා දිවීම, ලිස්සන ගස මත ඇවිදීම, අවුරුදු කුමරා - කුමරිය, විකට ඇඳුම්, ආදී අවුරුදු ක‍්‍රීඩා මෙන්ම ඔළිඳ කෙළිය, පංච කෙළිය, අං ඇදීම, කොරපොල් ගැසීම, රබන් ගැසීම හා ජන කවි වැනි ජන ක‍්‍රීඩා රැසකින් ද, මහා අවුරුදු උත්සවය විචිත‍්‍රවත් කෙරේ. පාසල් ළමුන්, විශ්ව විද්‍යාල සිසුන් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන නිලධාරීන්, පොදු  මහජනතාවට සහ විදේශිකයන්ට සහභාගී විය හැකි අවුරුදු ක‍්‍රීඩා සහ ජන ක‍්‍රීඩා අපේ‍්‍රල් 08 දවස පුරා පැවැත්වේ.

ගායන, වාදන සහ නර්තන ශිල්පීන් 1200 ක් සහභාගී වන හෙළයේ මහා සංස්කෘතික ප‍්‍රසංගය නිදහස් චතුරස‍්‍ර භූමියේදී ප.ව. 06.00 සිට රාත‍්‍රී 8.00 දක්වා පැවැත්වෙන්නේ ගරු කථානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

මහේෂ් දෙනිපිටිය ප‍්‍රමුඛ 22 දෙනෙකුගෙන් සමන්විත වාද්‍ය මණ්ඩලයේ සංගීතයට නිරෝෂා විරාජිනි, උරේෂා රවිහාරි, භාතිය සන්තුෂ්, ඉෂාක් බෙග්, අමිතා වැදිසිංහ, සුසිල් ප‍්‍රනාන්දු, උමාරියා ඇතුළු ගායක ගායිකාවන් 10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මහා මියැසි ප‍්‍රසංගය ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රාත‍්‍රී 8.30 සිට මධ්‍ය රාත‍්‍රී 12.00 දක්වා නිදහස් චතුරස‍්‍ර ආකේඩ් පරිශ‍්‍රයේදී පැවැත්වේ. ඊට සමගාමීව උදෑසන 07.00 සිට රාත‍්‍රී 10.00 දක්වා අලූත් අවුරුදු සමයට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළඳ සල්පිලක් ද පැවැත්වේ.

රටේ අවුරුදු සිරිය දැක බලා ගන්නට විනෝද වන්නට සහ අවුරුදු ක‍්‍රීඩාවලට ඉදිරිපත් වී වටිනා තෑගි දිනා ගන්නට අපේ‍්‍රල් 08 වනදා සූර්යාභිෂේකය 2018 පැමිනෙන්නැයි අමාත්‍ය චම්පික රණවක මහතා ශ‍්‍රී ලංකාවාසී ජනතාවගෙන් ඉල්ලා සිටී.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment