හානියට පත්වූවන්ට කඩිනමින් වන්දි - අගමැතිගෙන් සහතිකයක්

හානියට පත්වූවන්ට කඩිනමින් වන්දි - අගමැතිගෙන් සහතිකයක්
තක්සේරු කිරීම් පිළිබඳ අවසන් වාර්තාව එළඹෙන සිකුරාදා හෝ ඊට පෙර බාර දෙන ලෙස දැනුම් දුන් අගමැතිවරයා ගැටුම් වලින් මියගිය තිදෙනාගේ පවුල් වලට මූළික පියවරක් ලෙස රුපියල් ලක්ෂය බැගින් වන්දි මුදල් අද (12) වන විට  ලබා දෙන ලෙසද උපදෙස් දුන්නේය.
 
මියගිය අය එම පවුල් වල ආදායම් උපයන්නන් බැවින් ඔවුන්ගේ මරණ සමග එම පවුල් ඉතා අසරණ තත්ත්වයට පත්ව තිබෙන බවත් ඔවුන්ට මාසිකව ස්ථිර දීමනාවක් ලැබෙන වැඩපිළිවෙළක් සකස් කිරීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුව තිබෙන බවත් අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
 
ඉදිරි සතියේ රැස්වන කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කර මෙම වන්දි මුදල වැඩිකර එක් පවුලකට රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් ලබා දීමට අපේක්ෂා කරන බවද ඒ මහතා කීය.
 
මහනුවර සිදුවූ පහරදීම් හේතුවෙන් විනාශවූ දේපොළ වල වටිනාකම තක්සේරු කිරීම,මියගිය අයට වන්දි ගෙවීම් තීන්දු කිරීම,වන්දි ප්‍රදානය හා විනාශවූ ගොඩනැගලි ප්‍රතිසංස්කරණය ආදි කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම පිණිස මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති රැස්වීමකදී අගමැතිවරයා මෙම උපදෙස් ලබාදුන් අතර එම අවස්තාවට අමාත්‍යයවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල,රවුෆ් හකීම්,රංජිත් මද්දුමබණ්ඩාර,එම්.එච්.එම් හලීම්,රුවන් විජයවර්ධන,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලකී ජයවර්ධන,වේලූ කුමාර් යන මහත්වරුද රාජ්‍යය නිලධාරීන් රැසක්ද සහභාගී වූහ.
 
නොසන්සුන්කාරී පිරිස් විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් හානිවූ දිගන,අඹතැන්න,අකුරණ,අටේ කණුව හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ පූජනීය ස්ථාන,නිවාස හා ව්‍යාපාරික ස්ථාන දැක බලා ගැනීමට ගිය  අගමැතිවරයා ඉන් අනතුරුව මෙම රැස්වීම කැඳවා තිබිණි.
 
හානිවූ ව්‍යාපාරික ස්ථානයකට රුපියල් ලක්ෂයකද නිවාසයකට රුපියල් පනස්දහසක  මූලික ගෙවීමක් කඩිනමින් ගෙවන ලෙස මෙහිදී අගමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
 
මෙම අවසානාවන්ත සිදුවීම් නිසා මහනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 05 ක පූජනීය ස්ථාන,නිවාස,ව්‍යාපාරික ස්ථාන හා වාහන 465 කට හානි සිදුව තිබෙන බවත් මේ අතර නිවාස පමණක් 232 ක් තිබෙන බවත් කී අගමැතිවරයා පූර්ණ,අර්ධ හා සුළු වශයෙන් හානිවල ස්වභාවය අනුව මේවා වර්ග කර තිබෙන බවද අවධාරණය කළේය.
 
මෙම සිදුවීම සම්බන්ධයෙන් පත් කෙරෙන කොමිසම් මගින් සිදුවන්නේ යම් යම් නිගමන ඉදිරිපත් කිරීම පමණක් බවත් ඒ නිසා වඩා වැදගත් වන්නේ අවුල්ව පවතින ජන ජීවිතය යළි කඩිනමින් යථා තත්ත්වයට ගෙන ඒම පිණිස අවශ්‍යය ක්‍රියාමාර්ග ගැනීම බවත් අගමැතිරයා කීවේය.
 
සෑම දේම කොමිසමක් මතට තල්ලු කිරීමෙන් පමණක් ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන බවත් ජාතික ගීයේ සඳහන් පරිදි එක මවකගේ දරුකැළ ලෙස එකට එක්ව අපි රට ඉදිරියට ගෙනයා යුතුව තිබෙන බවත් ඒ මහතා කීය.
 
මෙම කණගාටුදායක සිදුවීම් නිසා රටේ කීර්තියට විශාල පහරක් එල්ලවූ බවත් හානිවූ දේපොළ යළි ගොඩනැගුවත් රටට සිදුවූ හානිය මකා ගැනීමට අඩු තරමින් වසර දෙකක් පමණවත් ගතවනු ඇතැයි හෙතෙම ප්‍රකාශ කළේය. රටේ ව්‍යවස්ථාව අනුව සෑම ආගමිකයෙකුටම තමන්ගේ ආගම නිදහසේ ඇදහීමේ අයිතිය තිබෙන බවත්  ජාතික එකමුතුව ගොඩනැගීමට රජය සෑම විටම කැපවෙන බවත් අගමැතිවරයා කීය. වැරදි කළ අයට නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් මේ පසුපස සිටි පිරිස් ඉක්මනින් රටට හෙළි කරන බවත් ඒ මහතා පැවසුවේය. ජාතීන් හා ආගම් අතර බෙදීම් ඇති කරන්න සමාජ මාධ්‍යය උපයෝගි කර ගැනීම වරදක් බවත් ඒ සම්බන්ධයෙන් රජය විශේෂ අවධානයක් යොමුකර ක්‍රියාකරන බවත් හෙතෙම කීය.
 
මෙම සංචාරය සඳහා අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම්, එම්.එච්.එම්. හලීම්, රංජිත් මද්දුම බණ්ඩාර, රුවන් විජයවර්ධන, පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු සහභාගී වූහ.
 
නුවර නදීක දයා බණ්ඩාර
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment