සමාජ ජාල අඩවි අවහිරයට ගත් රජයේ තීන්දුව කැකිල්ලෙ රජ්ජුරුවන්ගේ තීන්දුවක්

සමාජ ජාල අඩවි අවහිරයට ගත් රජයේ තීන්දුව කැකිල්ලෙ රජ්ජුරුවන්ගේ තීන්දුවක්
රට තුළ ඇති වූ කලබලකාරී වාතාවරණය මැඩ පැවැත්වීම වෙනුවෙන් සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අවහිර කිරීමට රජය ගත් තීරණය නූතන යුගයේ ‘කැකිල්ලේ රජුගේ නඩු තීන්දුවකි’. තවද ජාති හා ආගම්වාදය වපුරන කිහිපදෙනකු නිසා ජාතිවාදය හෝ ආගම්වාදය කිසිසේත් අනුමත නොකරන බහුතර සමාජ ජාල වෙබ් අඩවි පරිහරණය කරන්නන්ගේ තොරතුරු දැනගැනීමේ, අදහස් හුවමාරු කර ගැනීමේ, අදහස් හා මතවාද ප‍්‍රකාශ කිරීමේ අයිතිය අවහිර කිරීම ඔවුන් සියලූ දෙනාට කරන ලද බරපතළ වරදක් ලෙස අපි දකින්නෙමු.
 
එමෙන්ම මෙය ඉතා දරුණු හා වැරදි පූර්වාදර්ශයක් බවත්, මාධ්‍ය නිදහසට බරපතළ තර්ජන තිබූ ‘මහින්ද රාජපක්ෂ’ යුගයේදීවත් මෙවැනි ජනවිරෝධී මර්දනකාරී ක‍්‍රියාවක් සිදු නොවූ අතර මෙම වැරදි පූර්වාදර්ශය ඇතැම් විට ඉදිරියේදී මීට වඩා බරපතළ ලෙස අප රටේ තොරතුරු දැනගැනීමට හා අදහස් ප‍්‍රකාශ කිරීමට බලපෑ හැකි බව අපගේ මතයයි.
 
එසේම සමාජ ජාල තුළ ජාතිවාද, හා ආගම්වාදයන් වපුරවමින් ප‍්‍රචණ්ඩ, කලහකාරී ක‍්‍රියා සඳහා අනුබල දෙන පුද්ගලයින් හා කණ්ඩායම් සොයා ඔවුනට දැඩි දඩුවම් ලබා දීමට නීතිමය පසුබිම හා තාක්ෂණික පහසුකම් රජය සතුව තිබියදීත් එවැනි අන්තවාදීන් කිහිප දෙනකු නිසා සමස්ත සමාජ ජාලා භාවිත කරන්නන් අපහසුතාවයට පත් කිරීම බරපතළ කරුණකි. එය රජයේ බුද්ධි අංශවල අසාර්ථකතාවයද පිළිබිඹු කරන්නකි. එසේම ප‍්‍රචණ්ඩත්වය, ආගම්වාදය වපුරන කණ්ඩායම්වලට සාපේක්ෂව එයට එරෙහිව හඬ නගන්නන්ද රැසක් සිටින බැවින් එකී හඬද මෙම ක‍්‍රියාවෙන් යටපත් වේ.
 
මේ සියල්ලෙන් පෙනී යන්නේ රජය නීතිය හා සාමය රැකීමට අසමත් බවයි. මෙම ක‍්‍රියාවන්ගේ දිගුවක් ලෙස ඉදිරියේදී පුවත් වෙබ් අඩවි, පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය වාරණයක් වුවද ගෙන එ්මට පසුබට නොවන බව පැහැදිලිව පෙනී යයි. රජය සිය අසමර්ථතාවයන් සඟවා ගැනීමට නොකරන දෙයක් නැති බව මේ සිද්ධියෙන් පසක් වෙයි.
 
වත්මන් රජය බලයට පැමිණියේ ‘රාජපක්ෂ යුගයේ’ මාධ්‍ය මර්දනයට එරෙහිව මාධ්‍ය සංවිධාන වන අප හා මාධ්‍යවේදීන් නැගූ හඬ උපයෝගී කරගෙනය. නමුත් අද වන විට යහපාලන රජය ‘මහින්ද යුගයේ’ ද නොතිබූ අයුරින් මර්දනකාරී ස්වරූපයක් පෙන්නුම් කරමින් යයි. යහපාලන රජය බොරු පොරොන්දු ලබා දුන්නා විනා මෙතෙක් කල් මාධ්‍යවේදීන් හෝ මාධ්‍ය ආයතන වෙනුවෙන් කළ සැලකිය යුතු දෙයක් නැත. කරන ලද එකම දේ මාධ්‍ය සංවිධාන හා මාධ්‍යවේදීන් රවටා කඩේ යැවීම පමණකි. මාධ්‍ය සංවිධානවල සිටි ප‍්‍රබලයින්ට රජයේ තනතුරු ලබාදෙමින් මාධ්‍ය සංවිධාන හීලෑ කර නිහඬ කරවීම පමණකි. මාධ්‍ය සංවිධානවල ශක්තිය දියාරු කර හීන කිරීම පමණකි.
 
වත්මන් රජය බලයට පැමිණියේද සමාජ ජාල වෙබ් අඩවිවල ප‍්‍රචාරණයන්ට පින් සිදු වන්නටය. නමුත් අද වන විට රජය සමාජ ජාල වෙබ් අඩවිවලට බය වී ඇත්තේ රජයේ අසමර්ථතාවන් ප‍්‍රසිද්ධියේ විවේචනය කරන බැවිනි.
 
අපිද ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය පිළිකුල් කරමු. ජාතිවාදය අවුලන්නන්ට එරෙහි වෙමු. නමුත් එ් ‘මුට්ටිය බේරා ගැනීමට මහදැන මුත්තා මෙන් බෙල්ල කපා දමා’ නොවේ. එනිසාම සමාජ ජාලා වෙබ් අඩවි අවහිර කිරීමට එරෙහි වන අතරම අන්තවාදය වපුරන්නන්ට එරෙහිව රජය වඩා විධිමත්, දියුණු, සූක්ෂම, දැඩි ක‍්‍රියා පිළිවෙතක් අනුගමනය කරනු විනා මාධ්‍යයන් වාරණය කිරීම විහිළුවක් බව දන්වනු කැමැත්තෙමු.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment