ගොඩ කරන්න අවසර දෙනකොට ජනාධිපති දන්නෙ නැද්ද?

ගොඩ කරන්න අවසර දෙනකොට ජනාධිපති දන්නෙ නැද්ද?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ මුතුරාජවෙල නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉඩම් ගොඩකිරීම සඳහා රාජ්‍ය ආයතනයක් අවසර ලබාදී ඇත්නම් ඒ සියල්ල අහෝසි කරන බව ද එපමණක් නොව එවැනි අවසරයක් ලබා දී ඇත්නම් ඒ සඳහා සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා මුතුරාජවෙල අභය භූමියට අයත් ඉඩම් අක්කර 406 මැල්වත්ත ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් නමැති පුද්ගලික සමාගමකට ලබා දී ඇති අතර ඒ නිවාස ව්‍යාපෘතියක් සඳහාය. ගොඩ කිරීමට අවසර ලබා දී ඇති ඉඩම් කුඹුරු ඉඩම් වන අතර කෙසේ හෝ එම ඉඩම් කුඹුරු ඉඩම් නොවන බවට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ ලබාගෙන තිබේ.

මෙම ඉඩම් වෙන්කිරීම සිදුව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර කොමසාරිස් එම්.එන්.එල්. සඳමාලි මහත්මියගේ සහයෝගය සහ මගපෙන්වීම යටතේය. විශේෂත්වය වන්නේ සඳමාලි මහත්මිය ජනාධිපතිවරයාගේ දියණියකගේ පාසල් සමයේ මිතුරියක් වීමයි.

කෙසේ වෙතත් පරිසර සංවිධාන සහ ජනමාධ්‍ය විසින් එල්ල කළ දැඩි විරෝධය හමුවේ ජනාධිපතිවරයා හදිසියේ නින්දෙන් ඇහැරුණාක් මෙන් මුතුරාජවෙල සිදුවන ඉඩම් ගොඩකිරීම් තහනම් කිරීමට කටයුතු කර තිබේ. එපමණක් නොව 'රාජ්‍ය ආයතන මේ සඳහා අවසර දී ඇත්නම්' ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද පවසයි. මෙයින් ජනාධිපතිවරයා නොකියා කියන්නේ තමන් මේ සම්බන්ධයෙන් කිසිවක් දැන නොසිටි බවයි.

මෙසේ පවසන්නේ අන් කවරෙකුවත් නොව මේ රටේ පළමු පුරවැසියා වන ජනාධිපතිවරයාය. එපමණක් නොව පරිසර ඇමතිවරයාය. ඒ අනුව පරිසර සංවිධාන පෙන්වා දෙන තෙක් මේ පිළිබඳව ජනාධිපතිවරයා කිසිවක් දැන සිටියේ නැත. ඉන් පැහැදිලි වන්නේ ආණ්ඩුව තුළ සිදුවන කිසිවක් තබා තමා යටතේ තිබෙන පරිසර අමාත්‍යංශය තුළ සිදුවන්නේ කුමක්ද යන්න පවා ඔහු නොදන්නා බවයි. මුතුරාජවෙල ඉඩම් ගොඩ කිරීමට අවසර ලබා දීම පිටුපස ඇති පරිසර අමාත්‍යංශය ජනාධිපතිවරයාගේය, එයට අවසර ලබා දුන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාගේ පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායකගේය.

ජනාධිපතිවරයා මීට පෙර මයිලෝ පැකට්ටුවක් පෙන්වමින් සීනි අධි සාන්ද්‍රණය සහිත බීමවර්ගවලට එරෙහිව මහජනතාව දැනුවත් කරන බව ප්‍රකාශ කළ අතර ඒ සමගින්ම ජනාධිපතිවරයාගේ දියණිය කුඩා දරුවන් පිරිසකට මයිලෝ පැකට් බෙදන ආකාරය ජනමාධ්‍ය මගින් වාර්තා කළේය. ඒ සමගින් ජනාධිපතිවරයාගේ මයිලෝ විරෝධය යටපත් වූ අතර දැන් ඔහුට හෝ එම සිදුවීම මතක නැතිවාට සැකයක් නොමැත.

රටක නායකයෙකු සිටිය යුත්තේ ප්‍රශ්න ඇතිවීම වැළැක්වීමට මිස සමාජය විසින් රටේ ඇති වන ප්‍රශ්න පිළිබඳව ඇඟිල්ලෙන් ඇන පෙන්වීමෙන් පසු ඒවාට විසඳුම් ලබා දීමට නොවේ. මුතුරාජවෙල ඉඩම් ගොඩකිරීම සඳහා තමා යටතේ ඇති රාජ්‍ය ආයතන හරහා නීතිවිරෝධී ලෙස අවසර ලබා දෙනතුරු නිහඬව සිට දැන් ජනතා විරෝධය හමුවේ එම කටයුතු අත්හිටුවීමට කටයුතු කරයි. මේ හරහා ජනාධිපතිවරයාට ලකුණු වැටෙතැයි ඔහු සිතන්නේ නම් එය මුග්ධකමකි.

ආශිකා බ්‍රාහ්මණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment