වැල්ල අයින දිගට පොල් අතුවලින් අහුරගත් පැල්පත්වලින් වැල්ලට ලැබුණෙත් අමුතු ලස්සනක්. මහ ලොකුවට පහසුකම් නැතත් මේ පැල්පත් ජීවිතය තුළ ඔවුන්ට සියල්ලම තිබුණා. මුහුදු රස්සාවේ යන පිරිමින්ට කරවල වේලන ගැහැනුන්ට වැල්ල අයින ජීවිතේ පහසුවක්. 1985 මාරියාවත් සමග මේ ගම්මානය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඒක හරියට සුනාමියක් වගේ ගෙවල් දොරවල් ඔක්කොම මුහුදු රැල්ලකින් සුනුවිසුණු වෙලා ගියා. අවුරුදු ගාණක දුක්මහන්සිය වතුරට ගහගෙන ගියා. කාටවත් ණය නැතිව ජීවත් වුණු මේ මිනිස්සු එදා තමන්ගේ ජීවිතේ මුල්වරට අවතැන් වුණා. අසරණයන්¬ බවට පත්වුණා. එවකට තිබුණු ආණ්ඩුව වැල්ල අයිනේ හිටපු මේ ජනතාව වැල්ලෙන් ඉවත් කළා. ඔවුන්ට වැලිගම වල්ලිවල ප්‍රදේශයේ ඉඩම් ලබාදුන්නා. තාවකාලිකව නිවාස ඉදිකරලත් දුන්නා. එවකට හිටපු අගමැති රණසිංහ ප්‍රේමදාස මුහුදු රළ නිසා පීඩිතයන් බවට පත්වුණු මේ ජනතාව වැලිගම වල්ලිවල පදිංචි කරලා ඔවුන්ට ස්ථිර නිවාස ඉදිකර දෙන්න කටයුතු කළා. පවුල් දෙසීයක විතර පිරිසක් පදිංචි කරලා ඉදිකරපු ගමට ‘ජයරළපුර’ කියලා නමකුත් දැම්මා. රළ නිසා පරාජිතයන් බවට පත්වුණු මිනිස්සුන්ට ඒක ජයග්‍රහණයක් කියලා හිත හදාගන්න මේක අවස්ථාවක් වුණත් ඇත්තටම ඒක මහා ඛේදවාචකයක්.
ජයරළපුර මේ පවුල් දෙසීය පදිංචි කරලා 2018 වසරට අවුරුදු තිස්තුනක්. මේ අවුරුදු තිස්තුනටම මේ ගමේ මිනිස්සුන්ට ජල සම්පාදන ක්‍රමයක් හදලා දෙන්න එකම ආණ්ඩුවක්වත් ක්‍රියා කරලා නැහැ. ගමේ මිනිස්සු අවුරුදු තිස්තුනට එක එක ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරුන්ට අගමැතිවරුන්ට ලියපු ලියුම් ප්‍රමාණය කොපමණද කියලා දන්නේ ගමේ මිනිස්සු විතරයි. වැඩක් වුණේ නෑ.
මාතර දිස්ත්‍රික්කයේ වතුරවලින් හිඟයක් තියෙන දිස්ත්‍රික්කයක් නෙවෙයි. මේ මිනිස්සුන්ට එදිනෙදා කටයුතු ටික කරගන්න වතුර දෙන්න ඒ තරම් ලොකු වියදමක් යන්නේ නෑ. ඒ වුණත් අවුරුදු 33ක් තිස්සේ කවුරුත් මගහැරියා. මේ නිසා අවුරුදු 33ක් තිස්සේ මුළු ගමේම මිනිස්සු වතුර බොන්නේ සලාක ක්‍රමේකට. බාස්කට් එකකින් මැනලා දෙන වතුර ටිකෙන් තමයි තවම ජීවත්වෙන්නේ. ඒ ප්‍රදේශයේ තවත් ළිං කිහිපයක් තිබුණත් ඒවා තියෙන්නේ හුඟක් දුරින්. ජයරළපුර කාන්ති අක්කලගේ ළිඳ තමයි ගමේ අයගේ පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නේ. තද පෑවිල්ලකදි නම් වතුර බෙදන්නේ දවසකට එක වතුර කලගෙඩිය බැගින්.
ඉතිං මෙහෙම බොන්න වතුරවත් නැතිව දුක් විඳින ගමකට ජයරළපුර යැයි කියන්නේ ඇයි... පුළුවන්නම් මේ ගමේ මිනිස්සුන්ට උත්තර දෙන්න.....?
- දයා නෙත්තසිංහ
0 comments :
Post a Comment