රවීගෙන් මහා බැංකුවට අභියෝගයක්

රවීගෙන් මහා බැංකුවට අභියෝගයක්

රුපියල පාවීමට ඉඩ හැරීමේ ප්‍රතිඵලයක් ලෙස තෙල් මිල වැඩි කිරීමට සිදුවී ඇති බවත්, මෙම තත්ත්වය ට මහ බැංකුවේ ඉහළ නිලධාරීන් වගකිව යුතු බවත් හිටපු රවී කරුණානායක මන්ත්‍රීවරයා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයෙ (25) මට්ටක්කුලිය, කදිරානවත්ත එකමුතුපුර නිවාස සංකීර්ණයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මහතා පෙන්වා දෙන්නේ මූල්‍ය විනය සම්බන්ධයෙන් එල්ල වී ඇති මෙම අයහපත් තත්ත්වයට එකම විසඳුම විදේශයන්ට අවශ්‍ය ලෙස තීරණ ගන්නා මහ බංකුවේ නිලධාරීන් සම්බන්ධයෙන් නිසි තීන්දුවක් ගැනීම බවයි. මහබංකු නිලධාරීන්ගේ දුර්වලතා නිසා ආර්ථිකයේ ඇතිවී තිබෙන කඩා වැටීම හමුවේ ඊට ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට දෝෂාරෝපණය කිරීම සුදුසු නොවන බවද හෙතෙම කියා සිටියි.

රුපියල බාල්දු වීමේ ප්‍රතිඵලයක් ලෙස තෙල් මිල පමණක් නොව ආනයනික භාණ්ඩවලද මිල ඉහළ යාමේ අවධානමක් පවතින බවද රවී කරුණානායක මහතා සඳහන් කරයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මහතා,

"මහ බංකුවේ ඇතැම් නිලධාරින් තීරණ ගන්නෙ ඒ අයගෙ පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් හිතල. විශ්‍රාම ගියාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තනතුරු බලාපොරොත්තුවෙන් ඔවුන් ගන්නා තීන්දු නිසා රටත්, රටේ ආර්ථිකය භයානක ඉරණමකට මුහුණ දී සිටිනවා. රට කවුරු පාලනය කළත් මේ නිලධාරීන් වෙනස් වෙන්නෙ නැහැ. මම මුදල් ඇමැතිව සිටි කාලය තුළ මේ ක්‍රමය වෙනස් කරන්න පියවර ගත්තා. දැන් මහ බැංකු නිලධාරීන්ට අවශ්‍ය විදිහට රටේ ආර්ථිකය පාලනය වෙනව නම් ආණ්ඩුවක් අවශ්‍ය නැහැනෙ.

රටට නව රැකියා උත්පාදනය සඳහා මහ බැංකුවට වැඩපිළිවෙළක් තියෙනවාද? නව ආයෝජන රටට ගෙන්වා ගැනීමට වැඩපිළිවෙළක් තියෙනවාද? ඔවුන් තීරණ ගන්නෙ මහ පොළවේ පය ගහල නෙමේ.

දැන් ලංකාවට විදේශීය නීතිඥවරුන්ගේ සේවය ලබාගැනීමේ සූදානමක් තියෙනවා. ඒකට මම කිසිසේත් එකඟ නැහැ. අපේ නීති ක්ෂේත්‍රය නවීකරණයට ලක්විය යුතුයි. නමුත් විදේශීය නීතිඥයන් ලංකාවට ගේන්න අවශ්‍ය නැහැ. නීති ක්ෂේත්‍රයේ අඩුපාඩු තියෙනවා නම් ඒවා රට තුළ නිවැරදි කරගත යුතුයි. "

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment