රනිල් නැමති අපේ කෙනාට සුබ උපන්දිනයක් වේවා!

රනිල් නැමති අපේ කෙනාට සුබ උපන්දිනයක් වේවා!

ගරු අග්‍රාමාත්‍යතුමා පසුගිය දිනක මාධ්‍යයට පවසා තිබූ ආකාරයට ඒකාබද්ධ විපක්ෂය විසින් පුබුදුවාලනු ලැබූ විශ්වාසභංග යෝජනාව නැමැති ආඝාත පුෂ්පය ඔහුට ආශිර්වාදයකි. සමහරවිට ජන විශ්වාසයෙන් බහුතර අවස්ථාවකදී පරාජයට පත්වුන, ඉදහිට ජයග්‍රහණය කරන එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් මෙන්ම රටේ අග්‍රාමාත්‍යවරයා වශයෙන්ද පාර්ලිමේන්තුව තුළ බහුතරයක් මන්ත්‍රීවරුන් ඔහුගේ අග්‍රාමාත්‍ය ධූරය අනුමත කරාවි යැයි විශ්වාසයෙන් ඔහු සිටිනවාද විය හැකිය. එසේත් නැතිනම් නැව ගිළුණත් බෑං චූං ලෙස පෙන්වන එතුමා විශ්වාස භංගයෙන් ගෙදර ගියත් කාරි නැතයි සිතමින් සිටිනවාද විය හැකිය. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය විසින් බිහිකළ, අදටද වඩාත් සූක්ෂම හා උපායශීලී දේශපාලනඥයා ලෙස ඔහු හැඳින්වෙන්නේ නිකමටම නොවෙන නිසා විශ්වාස භංගයට මුහුණ දීමට ශක්තිමත්භාවයක් ඔහුට තිබෙනවාද විය හැකිය. එහෙත් 69 වැනි උපන්දිනය සමරන මේ මොහොතේදී ගරු අගමැතිතුමාට වැරදුණේ කොතැනද? ඔහු පුරවැසියාගේ ජන විඥානය හඳුනා නොගත් නිසාද? එසේත් නැතිනම් පුරවැසියාව නියෝජනය කළ පුරවැසි සිවිල් සංවිධාන අමතක කළ නිසාද යන්න පිළිබඳ ඔහු විසින්ම ස්වයං තක්සේරුවකට පැමිණිය යුතු බව අපගේ විශ්වාසයයි.

2015 ජනවාරි මස 08 වැනි දින සිදුවූ ශ්‍රී ලාංකේය දේශපාලනයේ පෙරලිය එක් අතකින් අඳුරු ආඥාදායකයෙකුගේ ගෙදර යාමක් ලෙසද අනෙක් අතට මහපොළොවෙන් මතුවූ නිහතමානී මිනිසා බලයට පැමිණීම ලෙසද යනුවෙන් සරල අර්ථයෙන් තේරුම්ගැනීමට තරම් මිනිසුන් අබුද්ධික නැත. ජාතියේ ආඩම්බරකාර තාත්තා අමතක කර දමා හොර, බොරු, වංචා නැති නිහතමානී ගොවි පුතෙකු බලයට ගෙන ඒමට තරම් ජනතාව මොංගල් ද නැත. 2015 ජනවාරියේදී සිදුවූයේ ඇත්ත වශයෙන් බළලෙකු ලවා කොස් ඇට බා ගැනීමක් වැනි බල පෙරලියකි. සාපේක්ෂ වශයෙන් ජනතාව අතර ජනප්‍රිය නැති, ජන විඥානයට ආවේගශීලීව හා සංවේදීව කතා කිරීමේ චතුරභාවය අඩු රනිල් වික්‍රමසිංහ කෙසේ හෝ බලයට ගෙන ඒමට ජනතාවට පැවති උනන්දුව වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙන ඒම හරහා සිදුකිරීමකි. දේශපාලනික වශයෙන් වඩාත් සබුද්ධික රනිල් වික්‍රමසිංහ විසින් 2010 වර්ෂයේදී සරත් ෆොන්සේකා ලවා කරවා ගැනීමට ගොස් අසාර්ථක වූ තැත නැවත වරද්දා නොගනිමින් වත්මන් ජනාධිපතිවරයා ලවා සිදුකරගැනීමකි.

1994 වර්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂ නායකයා වශයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ පරිණතම දේශපාලනඥයා වශයෙන් ඔහුට තිබූ ලොකුම හීනය ජනාධිපති පුටුව වෙන්නට ඇත. එහෙත් සිහිනයක් නොවූ අගමැතිකම කෙසේ හෝ ලබාගැනීමට ඔහු යෙදූ රාජ්‍ය තාන්ත්‍රික හා සූක්ෂ්ම උපායමාර්ගය 2015 වර්ෂයේදී තක්කෙටම හරිගියේය. පැවති නායකත්වය පිළිබඳ දේශපාලන වේදිකාවේදී කතා කළ මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝණය වීම, රත්තරං අශ්වයින්, ලැම්බෝගිනි කාර්, නිධන් වදුළු, මැරියට් හෝටලය, ෂැංග්‍රිලා ව්‍යාපෘති, කෝප් සිටි, හම්බන්තොට වරායේ කළුගල, ගුවන් යානා එන්නේ නැති මත්තල වරාය, ස්වාසිලන්තයේ හෙළු නායකයා වැනි විදේශ සම්බන්ධතා, චීන කොළනියක් වීම, ස්විස් බැංකුවල තැන්පත් කර ඇති කළු සල්ලි යනාදී මෙකී නොකී සියලුම චෝදනා තක්කෙටම හරිගියේය. රැකියා ලක්ෂයක්, ෆ්‍රී වයිපයි, හොරණ ටයර් කර්මාන්තශාලා, ස්කූටරයෙන් නොතෙමී කාර් එකේ ගමන් බිමන් යාමට අඩු මුදලට කාර්, අඩු මුදලට සහල්, ඝාතනය වූ ආර්ථිකය නැවත නඟා සිටුවීමට වොක්ස්වැගන් වැනි විශාල ආයෝජන පිළිබඳ ඡන්ද පොරොන්දු ද තක්කෙටම හරිගියේය. මේ රනිල් වික්‍රමසිංහ විසින් 2015 ජනවාරියේදී සිදූවූ විප්ලවය පිළිබඳ තක්සේරුවක නිරත වූ ආකාරය විය හැකිය. එහෙත් ඔහුට අමතක වූ හෝ ඔහු විසින් අමතක කර දැමූ හෝ යමක් තිබුණි. ඒ 2015 ජනවාරි බල පෙරලිය සිදුවූයේ දේශපාලන වේදිකාවේදී වපුරන ලද වචන නිසාම නොව රටෙහි වෙනසක් ඇතිකිරීමට පුරුවැසියා පෙළගස්වනු ලැබූ සිවිල් සමාජ සංවිධානවල උත්සාහයද නිසා වන බවය. වෙබ් අඩවි, ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යයන්හි දැවැන්ත මාධ්‍ය ව්‍යාපාරය නිසාද වන බවය. සරලව පැවසුවහොත් මානව හිමිකම් වෙනුවෙන් මොරදුන්, මානව හිමිකම් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ජීවිත පූජා කළ මානව හිමිකම් සංවිධාන හා තනි පුද්ගලයින්ගේ සිහිනවල ප්‍රතිඵලයක් ලෙස බවය. රතුපස්වලින් ඇසුණු, සන්ධ්‍යා එක්නැලිගොඩගේ නිවසින් ඇසුණු, හලාවත ධීවර ගම්මානයකින් ඇසුණු, තාජුඩීන්ගේ නිවෙසින් ඇසුණු මොරගැසීම්වල, විලාපවල ප්‍රතිඵලයක් ලෙස වන බවය. වත්මන් ජනාධිපතිට වඩා ප්‍රජාතන්ත්‍රවාදී, පරිණත දේශපාලනඥයා අගමැති වශයෙන් ආගමනය වූයේ විවිධ කුඩා කුඩා සමාජ කණ්ඩායම්වල හීන මතින් වන බවය. එහෙත් අග්‍රාමාත්‍යවරයා මේ සියල්ල අමතක කර දමා ඇති බව පෙනෙන්නට තිබේ.
2015 බල පෙරලිය සමහරුන් සමනළ වසන්තයක් ලෙස අර්ථකථනය කිරීමට උත්සාහ දරනු පෙණුනි. එහි වරදක් හෝ දෝෂයක් අපි දකින්නේද නැත. ශ්‍රී ලංකාවේ ජීවත්වන සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාව ඇතුළු සුළුතර ලිංගික ප්‍රජාවේ බහුතරයක්ද මෙම සමාජ ප්‍රතිසංස්කරණය බලාපොරොත්තුවෙන් සිටියහ. ඔවුන්ට එරෙහිව සමාජයේ සිදුවන විවිධ ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් නවත්වා ගැනීමට, නීතියෙන් ඔවුන් අපරාධකරුවන් යැයි සලකමින් පොලීසියට ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට බලය ලබාදී තිබෙන දණ්ඩ නීති සංග්‍රහයේ විකාර වගන්ති වෙනස් කර ගැනීමට, ව්‍යවස්ථාවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් ද ආරක්ෂා කරගැනීමට ඔවුහු සමාජ පෙරලියක් බලාපොරොත්තුවෙන් සිටියහ. ජනාධිපතිවරයා නියෝජනය කරන පංතියේ හා ජනාධිපති වරයාගේ මතවාදය හොඳින්ම දන්නා සුළුතර ලිංගික ප්‍රජාව රනිල් වික්‍රමසිංහ පිළිබඳ අපමණ බලාපොරොත්තු තැබූහ. ඔවුන් ෆ්‍රී වයිපයි හෝ, බ්‍රේස්ලට් හෝ, චුයින්ගම් හෝ වැලන්ටයින් දිනයේදී බෑං චූං හෝ නොව රනිල් වික්‍රමසිංහ යන පරිණත ලිබරල්වාදී දේශපාලනඥයාගෙන් සමාජ ප්‍රතිසංස්කරණ සිදුවේ යැයි බලාපොරොත්තු විය.

එහෙත් 2015 බලපෙරලියෙන් වසර තුනක් ඉක්මවා ගොස් තිබෙන මෙම මොහොතේ සුළුතර ලිංගික ප්‍රජාව ඇතුළුව ආන්තීකරණයට ලක්වූ විවිධ සමාජ කණ්ජායම් අගමැතිවරයා දෙස තවමත් බලාසිටී. ඒ අපි වෙනුවෙන් කුමක් හෝ කරාවි කියා නොව අපේ එකා වශයෙන් අඩුම තරමේ අගමැතිවරයා ජාමය බේරාගනීවිය කියාය. මෙහිදී අගමැතිවරයාට අපේ එකා යැයි කියන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සාකච්ඡාව තුළ දෙයක් කතාකළ හැකි හා දෙයක් කළ හැකි දේශපාලනඥයා ඔහු යැයි අපි තවමත් විශ්වාස කරන නිසාය. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය අඩපණ වී මියැදෙන්නට පණ අදින මොහොතක වුවද, 2017-2021 මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්මෙන් (National Human Rights Action Plan) සුළුතර ලිංගිකයින්ගේ මානව අයිතිවාසිකම් විසිකර දමා තිබෙන මොහොතක වුවද, සුළුතර ලිංගික අයිතිවාසිකම් විසිකර දමා ජී.එස්. පී ප්ලස් ආර්ථික සහනය ලබාගෙන රට වෙනුවෙන් සුළුතර ලිංගිකයන් බිල්ලට දී සිටින මොහොතක වුවද, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සර්වකාලීන සැසියේදී (Universal Periodic Review – UPR) සුළුතර ලිංගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නීතිමය හා ව්‍යවස්ථාමය රැකවරණය ලබාදිය යුතු බවට රටවල් දහතුනක් විසින් ශ්‍රී ලංකාවට කළ නිර්දේශ අමතක කර දමා සිටින මොහොතක වුවද ශ්‍රී ලංකාවේ සුළුතර ලිංගික ප්‍රජාව ඇතුළු විවිධ සිවිල් සංවිධාන අගමැතිවරයා දෙස තවමත් දෑස් දල්වා බලාසිටී. ඒ බැඳුම්කර මගඩි වසා ගැනීමට හිටපු මුදල් ඇමති විදේශ ඇමති කර, යමක් කිරීමට තරම් පිට කොන්දක් තිබූ හිටපු විදේශ ඇමති මුදල් ඇමති කර ඔහු විසින් ජාත්‍යන්තරය හමුවේ අපට සිදුකළ මහත් හානියට සාධාරණයක් ඉටුවන තුරුය. ශ්‍රී ලංකාවට විදේශ අමාත්‍යාංශයක් කියා එකක් දැන් තිබේදවත් කියා අමතක වී ඇති මොහොතක පක්ෂ නායකත්වය හෝ බල ලෝභීත්වය වෙනුවෙන් නොව ඔහුට ලැබී ඇති අවසාන අවස්ථාව රට වෙනුවෙන් හා ඔහුව විශ්වාස කරන ප්‍රජාව වෙනුවෙන් වැය කිරීමට විපක්ෂය විසින් ගෙන එනු ලැබූ විශ්වාසභංගය භංග වී යන තුරුය. බලය ලැබුණු පසු ඔබ විසින්ම වවාගත්තා යැයි පෙනෙන උඩඟුකම නැතිවී නිහතමානීකම මතුවෙන තුරුය. නාකි වී, කොරපොතු ගැසී, මොළයේ දැනුම හෝ උපායශීලීත්වය අංශුමාත්‍රයක් හෝ නොමැති මාන්දම්, බඩගෙඩිකාර උපදේශකවරුන්ගෙන් බේරී සැබෑ ජන මනසට ඔබගේ අවධානය යොමුවන තුරුය.

ඉතින් අගමැතිතුමනි, ආයුබෝවන් කියන්නට කල් වැඩි යැයි හැගෙන නිසාවෙන් ඔබට චිරං ජයතු!

- තුෂාර මනෝජ්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment