පරිස්සමෙන් -ක්ෂය රෝග අවදානමක්

2017 වසර වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ක්ෂය රෝගීන් ගණන 8511ක් වන බවත් ඉන් 8113ක් අලුතින්ම හඳුනාගත් රෝගීන් බවත් ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන සඳහන් කරයි.

මේ අනුව පළාත් වශයෙන් ගත්විට බස්නාහිර පළාතෙන් 3601 ක් සහ  ‍‍කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් 2051ක් ලෙස ක්ෂය රෝගීන් වාර්තා වී තිබේ.මේ දත්ත අනුව බස්නාහිර පළාතේ ක්ෂය රෝගය තදින් පැතිරයැමේ අවදානමක් පවතින බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මිය සඳහන් කළාය.

හඳුනානොගත් ඇස්තමේන්තුගත රෝගීන් සංඛ්‍යාව දහතුන් දහසකට අධික යැයි සැලකෙන අතර, වහා මේ රෝගීන් හඳුනා නොගතහොත් එම රෝගීන්ගෙන් තවත් අයට රෝගය

පැතිරයෑමේ අවදානම වැඩි බවද වැඩිදුරටත් ‍වෛද්‍යවරිය අවධාරණය කළාය. සම්පුර්ණයෙන්ම සුවකළ හැකි හා වළක්වාගත හැකි ක්ෂය රෝගය, සති දෙකකට වඩා වැඩි කලක් පවතින කැස්ස, රාත්‍රී කාලයේ මඳ උණ, කෑම අරුචිය, ශරීරයේ බර අඩුවීම, ලේ සහිත සෙම පිටවීම් වැනි රෝග ලක්ෂණ මතු කරමින් ඇතිවිය හැකි අතර, එවන් ලක්ෂණ පවතී නම් වහාම ළඟම ඇති ළය චිකිත්සාගාරයට ගොස් පරීක්ෂා කරවාගන්නා ලෙස විශේෂඥ වෛද්‍යවරිය සදහන් කළාය.

ක්ෂය රෝගය හඳුනාගැනීම සඳහා ඉතා උසස් මටිටමේ රසායනාගාර පරික්ෂණ නිදහස් සෞඛ්‍ය සේවාව තුළ පවතින බැවින් රෝගය සහිත යැයි තහවුරු වුවහොත් මාස හයක් නොකඩවා වහාම ප්‍රතිකාර ලබාගැනීමෙන් ක්ෂය රෝගය සම්පූර්ණයෙන්ම සුවකළ හැකි බවත්, ප්‍රතිකාර ලබාගන්නා අයෙකුගෙන් රෝගය කිසිම කෙනකුට බෝ නොවෙන බැවින් ඉහත කී ලක්ෂණවලින් බියපත්ව රෝගය සඟවා නොසිට වහා ක්‍රියාත්මක වන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයද මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ලෝක ක්ෂය රෝග දිනය මාර්තු 24 වැනිදාට යෙදී තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment