මේ ක්‍රමේට ජන්ද කළොත් පක්ෂ ඉවරයි - එජාප නීති ප්‍රධානී, ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර

මේ ක්‍රමේට ජන්ද කළොත් පක්ෂ ඉවරයි - එජාප නීති ප්‍රධානී, ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර
මනාප ක්‍රමයේ පැවති දුෂිතභාවය අවසන් කර සෑම කොට්ඨාසයකම ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට හැකි වන පරිදි නව මැතිවරණ ක්‍රමය හදුන්වා දී ඇති පැවසූ දේශපාලනය විසින්ම අද එය නිර්දය ලෙස විවේචනය කරමින් හිඳියි. සැබෑ ලෙසම එහි දුර්වලතා වූයේ නම් එය, මැතිවරණ ක්‍රමය පිළිබඳ සංවාදය පැවති සමයේ වඩා  තිව්‍ර ලෙස මතු නොවූයේ හෝ නොකළේ මන්ද? එමෙන්ම මේ වන විට පළාත් පාලන ආයතනයන්හි බලය පිහිටුවීමේදී අර්බුද මතුව ඇත්තේ මැතිවරණ ක්‍රමයේ දුර්වලතාවක් නිසාද? නැත්නම් බලාපොරොත්තු නොවූ ප්‍රතිපලය විසින් ගොඩනගන ලද්දක්ද? මෙම තත්ත්වය මත  නැවත පැවති මනාප ක්‍රමයටම යාමට සිදුවේද? මෙකී සියලුම කාරණා  පිළිබඳව  අපි එක්සත් ජාතික පක්ෂයේ නීති අංශ ප්‍රධානී  ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා සමඟ සාකච්ජා කළෙමු. 
 
බිමේ මිනිස්සු විරසක වුණා 
 
පසුගිය පාලන සමයේදී හදුන්වා දුන් මෙම නව මැතිවරණ ක්‍රමය සංශෝධන රැසකින් පසුව සම්මත වුවත් එහි අඩුපාඩු දුර්වලතා වළක්වා ගෙන නොමැති බව නිශ්ශංක නානායක්කාර මහතා පෙන්වා දුන්නේය. ඉන් සිදුවූයේ පක්ෂයක පදනම වන බිම් මට්ටමේ සාමාජිකයන් විරසක වීම පමණක් බව ඔහු අවධාරණය කළේය. නාමයෝජනා සකස් කිරීමේ පටන්ම අර්බුදය ගොඩනැගුණු අතර එය සෑම දේශපාලන පක්ෂයකටම පොදු වූ කාරණයක් බවයි නානායක්කාර මහතා සඳහන් කළේ.  
 
ඉතාම නරක පනතක් 
 
බරපතල අඩුපාඩු සහිත පනතක්  වන නව මැතිවරණ ක්‍රමයෙන් සිදුවන්නේ පක්ෂ විනාශ වීම බව නිශ්ශංක නානායක්කාර මහතා පෙන්වා දුන්නේය 
 
කොහොම හරි ජන්දය පැවැත්වීමේ අවශ්‍යතාවයි තිබුණේ 
 
පළාත් පාලන මැතිවරණය දිනෙන් දින කල්යාම නිසා මතුව තිබූ දේශපාලන අර්බුදයට විසඳුමක් ලෙස කඩිනමින් මැතිවරණය පැවැත්වීම හැර මැතිවරණ ක්‍රමයේ දුර්වලතා ඉවත්කර ගැනීමට දේශපාලනඥයින්ට අවශ්‍යතාවක් නොවුණු බවයි නානායක්කාර මහතා සඳහන් කරන්නේ. මැතිවරණ කොමිසම පවා මෙම දුර්වලතා පිළිබඳව සාකච්ජා කර තිබේ. එහෙත් දේශපාලඥයින්ගේ  නොසැලකිල්ල හා නිවැරදි ලෙස විශ්ලේෂණය කර නොගැනීම නිසා අද දවස වන විට පළාත් පාලන ආයතන බලය පිහිටුවීම ම ප්‍රශ්නයක් වී තිබේ.
 
අනිවාර්ය කාන්තා නියෝජනය නිසා මන්ත්‍රීධූර පත්කිරීමත් ප්‍රශ්නක් වෙලා 
 
නව මැතිවරණ ක්‍රමයේ විශේෂත්වයක් වූ 25% අනිවාර්ය කාන්තා නියෝජනය කාන්තා දේශපාලනය බලගැන්වීමේ අදහසින් ඇතුළත් කළ කරුණක් වුවත් දැන් එය නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේදී බරපතල ලෙස ගැටළු නිර්මාණය කර තිබේ. විශේෂයෙන් එය අවාසිදායක ලෙස බලපා ඇත්තේ කොට්ඨාස ජයග්‍රණය කිරීමට නොහැකි වූ පාර්ශව වෙතය. 
 
මේ අනුව නව මැතිවරණ ක්‍රමය පක්ෂ තුළ විශේෂයෙන් බිම් මට්ටමේ ක්‍රියාවලිය අඩපණ කිරීමට සමත් වී ඇති බවයි නානායක්කාර මහතා පෙන්වා දෙන්නේ. මෙතෙක් කාලයක් සමඟියෙන් බිම් මට්ටමේ දේශපාලනය රැකගෙන ආ කණ්ඩායම් විරසක වීම දක්වාම එය දිගුවක් වී තිබේ. මෙම තත්ත්වය මත තවදුරටත් පළාත් සභා මැතිවරණයත් නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වීම දේශපාලන පක්ෂ විනාශයට ඇද දමන්නක් බව ඔහු අවධාරණය කළේය.
 
ආශිකා බ්‍රාහ්මණ / නිශාන්ත ප්‍රියදර්ශන
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment