ජන්ම දිනයදා අගමැති එජාප නායකත්වය අත්හරී?


වසර 24කට පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා වෙත භාරදීමට එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ 68 වන ඡන්ම දිනය මාර්තු 24 වැනි දිනට යෙදී ඇති අතර එදින නිලවශයෙන් එම ප්‍රකාශය සිදු කරන බවයි.

කතානායක කරූ ජයසූරිය මහතාගේ සෞඛ්‍ය තත්වය ගැන සලකා හෙතෙම එජාප නායකත්වය ප්‍රතික්ෂේප කළ බවද පැවැසේ.

කෙසේවුවද රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති පදවිය බේරාගැනීම උදෙසා මෙම තීරණය ගත් බව විචාරකයෝ පවසති.

විශේෂයෙන්ම එජාප තුළින්ම විශ්වාසභංගයක් ගෙන ඒමට සූදානමක් පැවතීමත් පක්ෂය තුළින්ට තමන්ට එන විරෝධය සමනය කිරීමටත් මෙම තීරණය ගැනීමට හේතුවී ඇතැයි වාර්තා වේ.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂ අභ්‍යන්තරයේ උද්ගතවී තිබෙන අර්බුදකාරී තත්ත්වය සමථයකට පත්කර සියලු පාර්ශ්වයන් එකට ඒකරාශී කර ගැනීමේ විශේෂ රහස් මෙහෙයුමක් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් මේ වනවිට ආරම්භ කර තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා ලෙස තවදුරටත් ආරක්‍ෂා කර ගනිමින් අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තබාගෙනම යහපාලන රජය ඉදිරි වසර 02ක කාලයද ඉදිරියට පවත්වාගෙන යාම අමාත්‍යවරයාගේ අරමුණ වී තිබේ.

සියලුදෙනාට සාධාරණය ඉටු කරමින් තෙමසක් ඇතුළතදී එක්සත් ජාතික පක්‍ෂය යළි නඟාසිටුවා 2020 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරවීම සඳහා වූ විශේෂ ක්‍රියාකාරී සැලැස්මක්ද වජිර අබේවර්ධන මහතා සකස් කර ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් එජාපයේ ඉදිරි ගමන උදෙසා විශ්වාස භංගයක් ගෙන ඒමට මන්ත්‍රීන් කණ්ඩායමක් සූදානමින් සිටින බව රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

එම විශ්වාස භංගය ගෙන එන්නේ රටේ විශ්වාසය නැති පුද්ගලයා එරෙහිව බව ද ඇමැතිවරයා කීවේය.

මෙවැනි වාතාවරණයක් තුළ රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වය සහ අගමැති ධූරය දැරීම පිළිබඳ එජාපය තුළ දෙකඩ වීමක් සිදු විය. එක් කණ්ඩායමක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂපාතීවත්, අනෙක් කණ්ඩායම අගමැතිවරයා සිය ධූරයෙන් ඉවත් වී පක්ෂ නායකත්වය වෙනත් සුදුස්සෙකුට පැවරිය යුතු බවටත් මත ප්‍රකාශ කරමින් සිටියි.

පළාත් පාලන මැතිවරණයෙන් පසු ඇතිවූ දේශපාලන අස්ථාවරත්වය සමගම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 16 වනදා වි‍ශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය තුළ අලුත් නායකත්ව පරපුරක් බිහිකිරීමට තමා සූදානම් බවයි.

මැතිවරණයේදී ලද පරාජය සම්බන්ධයෙන්ද අගමැතිවරයා වගකීම බාරගත්තේය.

(Asian Mirror)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment