ජනපතිවරුන් තනන ‘කේම්බ්‍රිජ් ඇනලිතිකා‘ ෆේස් බුක් දත්ත රහස් මෙහෙයුමට ලංකාවේ නමත් ගෑවිලා (video)


ජනපතිවරුන් තනන
‘කේම්බ්‍රිජ් ඇනලිතිකා‘ ෆේස් බුක් දත්ත රහස් මෙහෙයුමට

ලංකාවේ නමත් ගෑවිලා (video)

මේ වනවිට ලෝක ප්‍රකට ෆේස් බුක් සමාගම මූල්‍යමය වශයෙන් කඩාවැටීමකට ලක්කරවන්නටද හේතුවී තිබෙන ‘කේම්බ්‍රිජ් ඇනලිතිකා‘ ප්‍රශ්නයට අදාළ රහස් වීඩියෝ වාර්තා මගින් ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස්කමක් සිදු කිරීමට ෆේස් බුක් යොදාගැනීම සම්බන්ධ රහස් කතාවක්ද ප්‍රචාරය වී තිබේ.
2016දී  ඇමරිකානු ජනපතිවරණය ට්‍රම්ප් ජයගන්වන්නට ෆේස් බුක් තුළ ක්‍රියාත්මකවූ රහසිගත මෙහෙයුම පිළිබද අති විශේෂ හෙළිදරව්ව සමග මෙම සංසිද්ධිය
කරළියට පැමිණ තිබේ.
ෆේස් බුක් භාවිතා කරන මිලියන 50කගේ දත්ත, ‘කේම්බ්‍රිජ් ඇනලිතිකා‘ නම් වූ දත්ත ඉංජිනේරු සමාගමක් විසින් ඉතා සූක්ෂම ආකාරයට සොරාගෙන ඒවා දේශපාලනික ප්‍රචාරණය වෙනුවෙන් අවභාවිතා කළ බව මෙහිදී අනාවරණය වී තිබේ.

මේ සියල්ල ඇරඹී ඇත්තේ ඇලෙක්සැන්ඩර් කෝගන් නමැති

එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියේ පර්යේෂකයෙක් සිය පර්යේෂණ කටයුතු වෙනුවෙන්  "This is Your Digital Life"නමින් පෞර්ෂ්‍යත්වය මිනුම් කරන ප්‍රශ්නාවලියක් ඇතුළත් ෆේස් බුක් App එකක් නිර්මාණය කිරීමෙන් පසුවයි. ඔහු මේ හරහා  ෆේස්බුක් පරිශීලකයින් මිලියන 50 කගේ පුද්ගලික දත්ත එකතු කරගන්නට සමත්වේ. ෆේස් බුක් නීතිය අනුව එම පර්යේෂණයට අදාළ දත්ත වෙනත් කටයුතු සදහා උපයෝගී කළ නොහැකි වුවද කෝගන් මේ එකතු කර දත්ත  Cambridge Analytica ආයතනයට වෙනත් වැඩ සදහා ලබා දී තිබේ.

Cambridge Analytica ආයතනය මෙම ලබාගත් දත්ත ඇමරිකාවේ ජනාධිපතිවරණයේදී ට්‍රම්ප් දිනවන්ත සියුම් ලෙස භාවිත කර ඇති අතර එම මෙහෙයුම හුදෙක්ම ට්‍රම්ප් දිනවන්නැයි කියන ප්‍රචාරණ පොස්ටර් ෂෙයාර් කිරීමකට සීමාවී නැත. ඇතැම් අල්ලස් ගන්නන් ගණිකාවන් යොදවා ට්‍රම්ප්ට එරෙහි ප්‍රතිවාදීන් අපකීර්තියට පත්වන ආකාරයට යම් යම් සිද්ධි මතුකර ඔවුන් අල්ලස් ගත් අය බවට ගණිකා ලෝලීන් බවට ආදී වශයෙන් විවිධ කතා හදා ට්‍රම්ප් විරුද්ධ වාදීන්ව සමාජ මාධ්‍ය ඔස්සේ පතුරු ගැසීමේ සම්පූර්ණ මෙහෙයුම මෙම ව්‍යාපෘතියේදී සිදු කර තිබේ.

එවැනි දෑ ඔප්පු කර පෙන්වන ඡායාරූප වීඩියෝ සාක්ෂි එසැණින් මිලියන 50 ක් වෙත යොමු කර ජනමතය සැකසීම මෙම රහසිගත මෙහෙයුමේදී සිදු කර තිබේ. මේ වෙනුවෙන් ඇමරිකානු ජනපති අපේක්ෂකයාට පක්ෂව ආධාර සැපයූ අය විශාල මුදලක් ගෙවන්නට ඇති බවට දැන් කරුණු අනාවරණය වෙමින් පවතී.

දැනට වාර්තාවන ආකාරයට මෙම Cambridge Analytica ආයතනය ඇමරිකාවේ ජනපතිවරණයට පමණක් නොව කෙන්යාවේ වත්මන් ජනපති උහුරු කෙන්යාටා දිනවීම වෙනුවෙන්ද ඉහත ආකාරයට අවභාවිතා කර තිබේ.
මෙම සංසිද්ධිය සදහා ලංකාවේ නම ගෑවෙන්නේ මෙම හෙළිදරව්ව ප්‍රසිද්ධ කරමින් එංගලන්තයේ චැනල් 4 නාලිකාව ලෝකයට මුදාහැරිය රහසිගත වීඩියෝ කොටසකිනි. එම වීඩියෝවේ දැක්වෙන්නේ Cambridge Analytica සමාගමේ සේවය ලබාගන්නට අවශ්‍ය බව පවසමින් එම ප්‍රධානීන් ලන්ඩන් නුවර හෝටල් කිහිපයකදී සැලසුම් සහගතව හමුවීමකදී

කථාබහ කරන දේවල්ය. එම ආයතනයේම කලින් වැඩ කළ සේවකයෙකු ඔවුන් පාවාදෙමින් මෙම සාකච්ඡා වීඩියෝ කර මාධ්‍ය වෙත ලබාදීමට සැලසුම් කර තිබූ අතර ඔහු චැනල් 4 නාලිකාව වෙනුවෙන් රහසිගත කැමරා සවිකරගත් අය ඔවුන් හමුවට යවා මේ කතා පටිගත කරගෙන තිබුණි.

මෙම හමුවීම් 2017 නොවැම්බර් සහ 2018 ජනවාරි කාලය තුළ සිදුවී තිබෙන අතර තමා ලංකාවෙ ඉදිරි මැතිවරණයක් වෙනුවෙන් මෙම ආයතනයේ සේවය ලබා ගන්න බලාපොරොත්තු වෙන බව එහිදී දන්වා ඒ අයට ඒ වෙනුවෙන් ෆේස්බුක් හරහා කළ හැකි දේ මොනවාදැයි අසයි.

එහිදී කාන්තාවන් යොදවා දේශපාලකයින් අල්ලස් වලට හසුකරගත හැකි අයුරු ආදී විස්තර ඔවුන් යෝජනා ලෙස ඉදිරිපත් කරනු වීඩියෝවේ දැක්වේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති පුටුවට ගෙන ඒමේ රහසිගත මෙහෙයුමක් පැවති බව හිටපු ඇමරිකානු ජනපති ඔබාමාද චෝදනා කර තිබූ අතර මුලින් ඒ ගැන සැකය පැමිණියේ රුසියාව වෙතයි. කෙසේ වෙතත් ඇමරිකානු ජනපතිවරණයේදී ෆේස්බුක් අවභාවිතා වූ ආකාරය මීට වසර කිහිපයක සිටම විශාල ගැටලුවක් ලෙස කතාබහට ලක්වූවකි. ඒ නිසාම වැරදි තොරතුරු හුවමාරුව අවම කිරීම වෙනුවෙන් ෆේස් බුක් සමාගම ඇතැම් පියවරද ගෙන තිබේ.

Cambridge Analytica හෙළිදරව්ව මේ වනවිට ලෝකයේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ කම්පනයක් ඇති කරවූ සිද්ධියක් බවට පත්ව ඇත.
විශ්වාසය හීනවීම හේතුකොට ෆේස්බුක් ආයතනයේ කොටස් වෙළඳ පොළ අගය දැවැන්ත කඩා වැටීමකට ලක්ව තිබේ. සතියක් ඇතුලත ආයතනයට ඩොලර් බිලියන 47 ක පාඩුවක් සිදු වූ බවද ඇමරිකානු වාර්තා පළව තිබේ.
කෙසේ වෙතත් හෙළිදරව්වෙන් පසු දින 5ක් නිහඬව සිටි මාක් සකර්බර්ග්, පසුව මුල් වරට ප්‍රකාශයක් කරමින් දත්ත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඔවුන් අතින් අඩු පාඩු සිදුවී ඇති බව පිළිගන්නා අතරම නිවැරදි කිරීමට කටයුතු කරන බව දන්වා සිටියේය. Cambridge Analytica සමග ෆේස් බුක් පැවති ගනුදෙනුද ඒ සමගම අත්හිටුවා තිබේ.

ජාත්‍යන්තර මට්ටමේ කුමන්ත්‍රණ සිදු කළ Cambridge Analytica ප්‍රධානියාගෙ වැඩ තහනමකට ලක් වූ බවද පසුව වාර්තා විය.
ඒ සමගම ෆේස් බුක් භාවිත කරන්නන්ගේ පුද්ගලික දත්තවල ආරක්ෂාව සම්බන්ධයෙන් ලෝකය පුරාම නැවත කථාබහක් ඇතිව තිබෙයි. අනවශ්‍ය සැකසහිත ඇප් තිබේ නම් ඒවා ඉවත් කරගන්නා ලෙසත් ප්‍රයිවසි සෙටින්ග්ස් අවශ්‍ය ලෙස මාරු කරගෙන ඇතැම් දත්ත පොදුවේ දර්ශනය වීමෙන් වළක්වා මිතුරන්ට පමණක් සීමා කරගන්නා ලෙසත් උපදෙස් ලබාදී තිබේ.

පහත පළවන්නේ ඇමරිකානු ජනපති තේරීමට ෆේස් බුක් කුමන්ත්‍රණයක් දායකවූ අයුරු  හෙළි කළ චැනල් 4 වීඩියෝවයි. ලංකාවේ කාන්තාවන් ගැන කියැවෙන්නේ 42 වන තත්පරයේදීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment