සිරසට අත නොතබනු !

සිරසට අත නොතබනු !

 

නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ හෙවත් පොඩි චොප්පේ යනු දේශපාලනික න්‍යායන් මෙලෝ දෙයක් දන්නා පුද්ගලයකු නොවේ. ඔහුට තේරෙන්නේ ඇසට පෙනෙන දේ පමණි. අගමැතිවරයා තනතුරින් ඉවත් කරන තෙක් ඉවක් බවක් නැතිවාක් මෙන් නොකා නොබී දිවා රෑ නැතිව මාධ්‍ය සදාචාරය ද බල්ලාට දමා පුවත් පල කළ සිරසට කිත්සිරි උත්තර දෙන්නට ගියේ තමන්ට තේරෙණ භාෂාවෙනි. එහෙත් සිරස පිළිබඳ තත්වය ඊට වඩා ගැඹුරින් විමසා බැලිය යුතුව ඇත.

ලංකාවේ පශ්චාත් නූතන දේශපාලනයෙහි නිරත වන්නේ සිරස මාධ්‍ය ජාලයෙහි අධිපති කිලී මහාරාජා පමණි. ඔහු විරුද්ධාභාෂ සංකල්පය හරහා දේශපාලනික කටයුතු ප්‍රවර්ධනය කිරීම තෝරාගෙන සිටී.

ඒ අනුව කිලී මහාරාජා පක්ෂ වන්නේ කුමකටද, එය පරාජය වෙයි. ඔහු විරුද්ධ වන්නේ කුමකටද, එය ජයග්‍රහණය කරයි. එහෙයින් විශ්වාසභංගය ඉදිරියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව සිරස මාධ්‍ය ජාලය කළ කී සියලු දෑ පිළිබඳව අප ඔවුන්ට ස්තූතිවන්ත විය යුතුව ඇත. රනිල්ගේ ජයග්‍රහණයට තියුණු ජවයක් වූයේ කිලී මහාරාජාගේ රනිල් විරෝධයයි. කිලී මහාරාජා එසේ කළ උදව්වට කිසිවකු ගුණමකු නොවිය යුතුය. කිලී මහාරාජා ඇතුළු සිරස මාධ්‍ය ජාලය ආරක්ෂා කර ගැනීම සදහා ඉදිරිපත් විය යුතුය.

විශ්වාසභංගය ඉදිරියේ අප කළේ අගමැතිවරයාට පක්ෂ පිරිස් එකතු කිරීමයි. එහෙත් කිලී මහාරාජා කළේ ඊට වඩා සැබැවින් ම අසීරු දෙයකි. ඔහු කළේ අගමැති රනිල්ට විරුද්ධ පිරිස් එකතු කරගෙන ඔවුන් විනාශය කරා ගෙන යාමයි. එහි ප්‍රධාන වින්දිතයා වූයේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ තවත් අනාගත බලාපොරොත්තු ඇත්නම් ඒවා සඵල කරදීම සඳහා අන් කවරෙකුටත් වඩා හැකියාව ඇත්තේ කිලී මහාරාජා ප්‍රමුඛ සිරස මාධ්‍ය ජාලයට මය. එහෙයින් එය රැක ගැනීම එක්සත් ජාතික පක්ෂයේ ඉහළම වගකීමක් ය.

අවසාන වශයෙන් අප කියන්නේ "සිරසට අත නොතබනු, එය සදාකල් පණ මෙන් සුරකිනු !" කියාය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment