
රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ (18) කොළඹදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් රැස් වූ අවස්ථාවේදී අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේය. එම හමුවේදී ජවිපෙ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 20වැනි සංශෝධනය, පාර්ලිමේන්තු කල්තැබීම සහ ශ‍්‍රීලනිප පක්ෂ අර්බුදය නිසා රට අර්බුදයට යෑම පිළිබඳව අවධානය යොමු විය.
එහිදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා,
“පක්ෂයේ අර්බුද යටගහන්න රටේ නායකයා මුළු රටම අර්බුදයට යවනවා. ජනාධිපති පක්ෂය බදාගෙන මේ වෙනකන් කළෙත් රට අර්බුදයට යවන එක. පාර්ලිමේන්තුව කියන්නේ ඒ අයම කියන විදියට රටේ ජනතාවට වගකියන ප‍්‍රජාතන්ත‍්‍රවාදයට වගකියන රටේ උත්තරීතර ආයතනය. එහෙම ආයතනයක් තමන්ගේ පක්ෂයේ අර්බුදය විසඳගන්න තමන්ට ඕන ඕන වෙලාවට කල් තියනවා. මේක ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වැඩක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන්න ආපු අයම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව වැඩ කරනවා.”
එම හමුවේදී අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා පවසා සිටියේ පාර්ලිමේන්තුවට විශේෂ පනතක් සහ ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් වීමට තිබියදී පාර්ලිමේන්තු කල් තැබීම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කටයුත්තක් බවයි. එසේම මාස ගණනාවක් කල් යැවූ විගණන පනත අප්‍රේල් 19 වනදා විවාදයට ගැනීමට නියමිතව තිබූ විගණන පනත මෙන්ම ජවිපෙ ගෙන ඒමට සූදානම් වූ 20 වන සංශෝධන සියල්ල කල් දැමීමට සිදු වී ඇති බවත් ආණ්ඩුව සියලු වැදගත් දේ කල් යවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පැවසීය.
එහිදී අදහස් දැක්වූ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා,
“පාර්ලිමේන්තුව කල් දාන්න සිදු වුණේ ශ‍්‍රීලනිප පක්ෂ අර්බුදය නිසයි. මේ පාර්ලිමේන්තු සභාවාරයේදී ශ‍්‍රීලනිප කණ්ඩායම විපක්ෂයේ වාඩි වෙන්න තමයි සැලසුම තිබුණේ. නමුත් ජනාධිපති කල්පනා කළා, තමන් රටේ නැති වෙලාවක පක්ෂයේ කණ්ඩායම විපක්ෂයේ ඉඳගන්න එක එයාට වෙන දේශපාලන අවුලක් කියලා. ඒ වගේම එයාට පොදු රාජ්‍ය මණ්ඩල නායකයින්ටත් මුහුණ දෙන්න බැරි වෙන තත්ත්වයක් "
ජනතා විමුක්ති පෙරමුණේ පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුව කල්තැබීමත් සමඟ පසුවට තැබීමට ජවිපෙට සිදු විය. මෙම සංශෝධනයේ ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳවද ජවිපෙ නායකයන්ගේ අවධානය යොමු වී ඇති අතර මැයි මස පළමු සතියේ රැස්වෙන පාර්ලිමේන්තු සභා වාරයේදී 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද එම සාකච්ඡාවේදී තීරණය විය.
0 comments :
Post a Comment