
මිහිමව සුරකින හරිත දියණියෝ වැඩසටහන් මාලාවේ දෙවන අදියර පසුගිය දා මිහින්තලයේදී පැවැත්වුණි. නෙළුම් යාය පදනම නැවත වතාවක් මෙම වැඩසටහනේ සමාරම්භක සැසිය සිදුකිරීම සඳහා සමාජ විද්‍යාඥයෙකු වශයෙන් හා මානව හිමිකම් ක්‍රියාධරයෙකු වශයෙන් මා කෙරෙහි විශ්වාසය තබමින් ආරාධනා කළේය.
මිහිමව සුරකින හරිත දියණියෝ සමාරම්භක පොළොන්නරුව වැඩසටහනේ සාර්ථකත්වයත් සමග ඇතිවූ උද්දාමය තීව්‍ර කරගනු වස් අනුරාධපුර වැඩසටහන සාර්ථක කරගැනීම නෙළුම් යාය පදනමේ අපේක්ෂාව වී තිබුණි. එක් අතකින් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රෞඪතර රාජධානියක ඇති විභූතියත්, ජාතියට බත සපයන ප්‍රධානතම වැව් බැඳි රාජ්‍යයක ජීවත්වීමේ ආඩම්බරයත් සමග මිහිමව සුරකින හරිත දියණියෝ සියයකට ආසන්න පිරිසක් මිහින්තලය නගාරාසන්න සමිති ශාලාවකට එක් රැස්වී තිබුණී. දෙවන බුදුන් ලෙස ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිදුවූ මිහින්තලා භූමිය එක් පසෙකින් දර්ශනය වෙමින් තිබියදී මා හට පළමුවෙන් සිහිවූයේ උන්වහන්සේගේ දයාබර නැගණිය සංඝමිත්තා මහ රහත් තෙරණියයි.
ඇය ශ්‍රී මහා බෝධියේ දකුණු ශාඛාවක් ලක්දිවට වඩම්මවාගෙන ආවාය. ඇය ශ්‍රී ලාංකේය කාන්තාවට බෞද්ධ දර්ශනයේ විමුක්තිය හෙවත් භික්ෂුණි ශාසනය රැගෙන ආවාය. එහෙත් ඇය භික්ෂුණියකි. ගැහැණියකි. ගැහැණියක් මහරහත් වූ සැනින් ගැහැණියක වීමේ ස්වභාවික නියතියක් වන මාසික ඔසප් වීම නවතින්නේ නැත. ඇයද මාසිකව ඔසප් වේ. සෘතුමත් වේ. ඇයට ගැබණියක් වීමට අවශ්‍ය ඩිම්බ නිෂ්පාදනය වේ. ආර්තවය නතර වනතාක් කල් ගැහැණියක වීමේ ස්වභාවික නියතියට මුහුණ දීමට සිදුවේ. ප්‍රවාහන පහසුකම්වල දියුණුවක් නොමැති, පැයක් ඇතුළත රටකින් රටකට මාරුවීමට අවශ්‍ය තාක්ෂණයක් නොමැති ක්‍රිස්තු පූර්ව යුගයක සංඝමිත්තා මහරහත් තෙරණිය ශ්‍රී මහා බෝධින් වහන්සේ දවස් කීයක් තිස්සේ ඉන්දියාවේ සිට ලංකාවට වඩම්මවාගෙන ආවාදැයි අපි නොදනිමු. ශ්‍රී මහා බෝධිය වඩම්මවාගෙන පැමිණෙන විට ඇය මාසික ඔසප් වීමකට ලක්ව තිබුණාදැයි නොදනිමු. මෙම ප්‍රකාශය අතිශය සාහසික හා අතිශය තිරස්චීන ප්‍රකාශයක් ලෙස ඊනියා බෞද්ධයයන් යැයි කියාගන්නා අය සිතිය හැකි වුවත්, කාන්තාවකට ජීවවිද්‍යාත්මකව මුහුණ දීමට සිදුවන සාධාරණ සංසිද්ධියක් ඇයටත් පොදු විය යුතුය.
එහෙත් වර්තමානය ඊට වඩා බොහෝ වෙනස්ය. කාන්තාවක විසින් වඩම්මවාගෙන පැමිණි ශ්‍රී මහා බෝධිය රෝපණය කර ඇති රන් වැට පැනීමට කාන්තාවන්ට තහනම් කර ඇත. ඒ ඇයට කිලි තිබෙන නිසාය. ලෝකයේ එදා මෙදා තුර කාන්තාවන්ගේ කිලි සොයාගැනීමේ යන්ත්‍රයක් නිෂ්පාදනය කර නොමැති නිසා කවදා හෝ කිලි අල්වා ගැනීමේ යන්ත්‍රයක් සකස්කරගන්නා තුරු කාන්තාවන් ශ්‍රී මහා බෝධියේ රන් වැට නම් පනින්නේ නැත. මාස් ශුද්ධිය සෑදුනු කාන්තාවන් හා නොසෑදුනු කාන්තාවන් සොයාගෙන සෑදුනු අය එළවා දැමීමමටත්, නොසෑදුන අයට රන් වැට පැනීමටත් අවස්ථාව ලබාදීමේ ක්‍රමය ආරම්භ වන තාක් කල් සමස්ත කාන්තා පරපුරටම මේ පරිප්පුව කෑමට සිදුවනු ඇත. එහෙත් පසුගිය කාලයේදී අසන්නට ලැබුණේ, පින්බර අනුරාධපුර නගරයේ පූජා භූමය ආසන්නව ශරීර සම්බාහන මධ්‍යස්ථාන යැයි කියාගන්නා ලිංගික ශ්‍රමය විකුණන කඩ විශාල ප්‍රමාණයක් ඇති බවයි. අදටත් කොළඹ නගරයට පසුව වැඩ්ම ප්‍රමාණයක් ලිංගික ශ්‍රමය සපයන කාන්තාවන් සිටින්නේ අනුරාධපුරය ආශ්‍රීතව බව සමාජ විද්‍යාත්මක පර්යේෂණ මගින් සොයාගෙන ඇත. ලිංගික ශ්‍රමය සැපයීම, ඔසප් වීම, අඩු වයසින් මව්වරුන් බවට පත්වීම, දරුවන් බොහෝ ප්‍රමාණයකගේ මව්වරුන් බවට පත්වීම යනාදි සියල්ල පිටුපස පිරිමියෙකුගේ දායකත්වයද පවතී. එහෙත් කුණු බැනුම් ටික ගැහැණියටයි. අහසක් උසට අපහාස ටික ගැහැණියටයි. ඒ ඇයට ගැහැණියක වීමේ ස්වභාවික නියතියට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එකඟවීමට සිදුවන නිසාය.
අනුරාධපුර කාන්තාවන් හා දියණියන් සියදෙනෙක් පමණ නෙළුම් යාය පදනමේ ආරධනාවෙන් මිහිමව සුරකින හරිත දියණිවරුන් ලෙස පැමිණ සිටියේ ඉහත කී සමාජ පසුබිම තේරුම්ගෙන හා අත්විඳින නිසා විය හැකිය. වැඩසටහන ආරම්භ කිරීමටත් මත්තෙන් මෙම වැඩසටහනේ සාර්ථකත්වය මා අත් වින්දේය. ඒ මෑතකාලීනව වැඩිපුරම බැට කන ශ්‍රී ලාංකේය සුළුතර ජාතිය නියෝජනය කරමින් මුස්ලිම් කාන්තාවන් විසි දෙනෙකු පමණ අසුන් ගෙන සිටිනු දැකීමෙනි. දර්ශන නිදහස, ආගමික නිදහස මෙන්ම තමා පිළිබඳ තනි තීරණයක් හෝ ගැනීමට නොහැකි මුස්ලිම් කාන්තාවන් පිරිසක් කාන්තාවන් පිළිබඳ කතා කරන ස්ථානයක මා හට හමුවන්නේ ඉතා කලාතුරකිනි. එහෙත් රාමසාන් සඳ සේ දිලෙන තමාගේ මුහුණ ලෝකයෙන් සඟවා ගන්නට බල කරන ෆාතිමාලා බොහෝ පිරිසක් උනන්දුවෙන් මෙන්ම කුතුහලයෙන් යුක්තව බලාපොරොත්තු පිරුණු දෑසිකන් යුතුව අසුන් ගෙන සිටියහ.
බැලූ බැල්මට ගැහැණු ගොඩකි. මිහිමව සුරකින හරිත දියණියෝහි ව්‍යාපෘති කළමණාකාරිනී නීතිඥ රදිකා ගුණරත්න ද ගැහැණියකි. ලංකා නිවුස් වෙබ් හා අවුට් බවුන්ඩ් ටුඩේ මාධ්‍යවේදීනී හංසනී සම්පත්ද ගැහැණියකි. ගැහැණු ගොඩක් මැද මා පිරිමියෙකි.
මඳක් හුදෙකලා බවක් දැනුනද, ඔවුන් ගැහැණුන්ට වඩා ශ්‍රී ලංකා සමාජ විද්‍යා ක්ෂේත්‍රයට, ග්‍රාමීය සමාජ විද්‍යාවට මහත් දැනුහම් සම්භාරයක් එකතු කරන ගැහැණුන්ය යන හැඟීමෙන් දේශනය ආරම්භ කළෙමි. එහෙන් මෙහෙන් හඬන දඟ කරන කුඩා දරුවෙකුගේ හඬක් ඇරෙන්නට හාලාව මීයට පිම්බාක් මෙනි. කිසිදු ශබ්දයක් නොමැත. ආර්ථව දරිද්‍රතාවක් ඔවුන් දන්නේ නැත. සනීපාරක්ෂක තුවා අසා තිබුණද ඒවා පාවිච්චි කර නොමැති ගැහැණුන් බහුතරයක්ය. ඔවුන් දන්නේ ගැහැණියත් වී ඉපදුනු නිසා විඳින්නට සිදුවන විවිධ හිරිහැර හා කරදර පමණි. ගැහැණියකට ඇති සමාජ තහංචි ඔවුන් දැනගෙන තිබුණි.
කිල්ල, මල්වර නැකැත්, අපල, මාස් ශුද්ධිය, ඩිම්බ, නොමේරු ඩිමිබ, ආගමික ස්ථානවලට ඇතුළ් වීමේ තහංචි, මුස්ලිමි කාන්තාවන්ට පවුල ඇතුළේ ඇති විවිධ නීති රීති, සබත් කරන විවිධ ස්ථාන, ආදරය, විවාහය, ලිංගික ක්‍රියාකාරකම්, ලිංගික අයිතිවාසිකම් තිබේද නැත්ද, දරුවන් බිහිකිරීම, ඔවුන්ගේ ජීවිතය සම්බන්ධ තීරණ ගැනීම යනාදී විවිධ මාතෘකා අතර ගෙවී ගිය හෝරා දෙකක පමණ කාලය සමාජ විද්‍යාඥයෙකු ලෙස මා සතු දැනුම හා නිල නොලත් සමාජ විද්‍යාඥයින් ලෙස ඔවුන් සතු අත්දැකීම් මල්ලෙන් එකින් එක එළියට ගැනීම අතර සංවාදයක් විය. මෙම සංවාදය වසර ගණනාවක් පුරා විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව සමග හා කාන්තාවන් සමග වැඩකිරීමෙන් මා ලැබූ අත්දැකීම්වලින් වෙනස් වන්නේ මහපොළොවේ ජීවත්වන දිළිදු කාන්තාවන් සමග සිදුකරන ලද සංවාදයක් නිසාවෙන් පමණක්ම නොවේ. මාස් ශුද්ධිය නිසා දින ගණනාවක් පුරා පිටවන රුධිරය ජරාවක්ය, කිලිය යනුවෙන් ඔවුන් තුළ ගොඩනගා තිබූ ආකල්ප වෙනස්කිරීමට ශක්තියක් වීමට හැකි වූ සංවාදයක් නිසාය. ගෙදර බුදුන් අම්මාය යනුවෙන් පැවසූවද බුදුවන අම්මලා ඊළඟ ආත්මයේදී පිරිමි ආත්මයක් පැතීමට නියමිත නිසා ගැහැණියක වීම පාපයක් යැයි සිතාසිටි ඔවුන්ගේ පෑරුණු මනස සුවපත් කිරීමට හැකි වූ නිසාය. සිද්ධාර්වරුන් උපද්දවීමට මවක විය යුතුමය. මහාමායාවරුන් වන්නේ රාහුලයන්ට අම්මා වන යශෝධරාවන් වන්නේ ගැහැණුන්ය. යේසු ස්වාමි දරුවන් බිහිවන්නේ මරියා මව් වරුන්ගෙන්ය. ලොව තනන, ලොව ගොඩනගන ගැහැණුන් මිහිමව සුරකියි. ඒ ලෝකය පවත්වා ගෙන යාමට දරුවන් බිහිකිරීමෙනි. දරුවන් බිහිකිරීමට නම් සෘතු විය යුතුය. මාස් ශුද්ධිය සිදුවිය යුතුය. ඩිම්බ නිෂ්පාදනය කළ යුතුය. එම ඩිම්බ පුරුෂ ශුක්‍රාණු සමග සංසේචනය විය යුතුය. මේ උත්තරීතර ගැහැණුකමයි. සමාජ විද්‍යාඥයෙකු ලෙස මාගේ දේශනයේ කාර්යය වූයේ ඔවුන්ට ගැහැණුකමමේ වටිනාකම කියාදීමයි.
එහෙත් ගැහැණුකමේ වටිනාකම ඔවුන්ට එපාවන්නේ මාස් ශුද්ධියත් සමග පිටවන රුධිරය නිසාවෙනි. විවිධ රෙදි කැබලි භාවිතා කිරීමෙන් හෝ වාණිජ්‍යමය සනීපාරක්ෂක තුවා භාවිතා කිරීමෙන් හෝ සිදුවන ශාරීරික සංකූලතා හේතුවෙනි. මෙම ගැටළුව බැලූ බැල්මට ජීව විද්‍යාත්මක සංසිද්ධියක් ලෙස පෙනුනද එහි යම් සමාජ විද්‍යාත්මක ප්‍රශ්නයක්ද ගැබ්ව තිබේ. මාසික ඔසප් වීමත් සමග සිදුවන කායික හා මානසික අසමතුලිතාවන් දරාගෙනම ගැහැණුන්ට ඔවුන්ගේ දෛනික කාර්යයන් සිදුකිරීමට සිදුවේ. ඔවුන්ට එදිනෙදා සිදුකරන කුදු මහත් කටයුතු වලින් නිදහස් වීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. තමන්ගේ කායික හෝ මානසික අසමතුලිතාවන්, වේදනාවන් මාස් ශුද්ධිය නිසාවෙන් ඇති වූ ඒවායි පැවසීමට ඔවුන්ට නොහැකිය. සිදුකළ යුත්තේ පුරුෂයින්ට වසන් කරමින් තම වේදනාවන් සියල්ල දරාගැනීමයි.
විශේෂයෙන් පාසල් යන, දහම් පාසල් යන දියණියන්ට නිල ඇඳුම ලෙස සුදු ගවුම, ළමා සාරිය අනිවාර්ය නිසා ඔවුන්ට මාසික ඔසප්වීම සිදුවන කාලයේදී රුධිර පැල්ලමක් සඟවා ගැනීම වෙනුවෙන් මහත් ආයාසයක් දැරීමට සිදුවේ. පිරිමි ළමුන් විසින් ජපන් කොඩිය බලෙන් දැම්මවීමට බල කරන සමාජ ක්‍රමයක ඔවුන්ට විකල්පයක් අවශ්‍ය වේ. එම විකල්පය ජීව විද්‍යාත්මක පිළිතුරක් මෙන්ම සමාජ විද්‍යාත්මක ප්‍රතිකර්මයක්ද විය යුතුය.
නෙළුම් යාය පදනම මගින් ඔවුන්ට සපයා තිබුණු විකල්පය නම් පරිසරයට හිතකාමී, රෙදිවලින් සකස් කරනු ලැබූ සනීපාරක්ෂක තුවා භාවිතා කිරීමට අවස්ථාව ලබාදීමයි. නෙළුම් යාය පදනම මගින් ඔවුන්ට නොමිලයේ කිසිදු ලාභ අපේක්ෂාවක් හෝ ප්‍රතිලාභයක් නොමැතිව ලබාදී තුබූ සනීපාරක්ෂක තුවා පාවිච්චි කරමින් ආර්ථව දරිද්‍රතාවයෙන් මිඳීමට අවස්ථාව ලබාදීමයි. දැන් ඔවුන්ගේ සිත් යාය මත මල් යායක් පිපෙනු ඇත.
- තුෂාර මනෝජ් | ව්‍යාපෘති සම්බන්ධීකාරක - 'මිහිමව සුරකින හරිත දියණියෝ'
0 comments :
Post a Comment