2018 මැයි මස උද්ධමනය සියයට 2.1 දක්වා ඉහළ යයි.



2018 මැයි මාසයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2.1% ක් බව ජාතික පාරිභෝගික මිල දර්ශකය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කළේය. පසුගිය අප්‍රේල් මාසයේ මෙම උද්ධමනය 1.6%ක් ලෙස වාර්තා විය.

කෙසේ වෙතත්, 2018 මාර්තු මාසයේ සිට අඛණ්ඩව මාස තුනක් උද්ධමනය 3.0%ට වඩා අඩු අගයක් වාර්තා වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ‍වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ඩී.ජී.එස්.ජී.මුණසිංහ මහතා පවසා තිබේ.

ඒ අනුව, මැයි මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ -0.02%ක හා ආහාර නොවන කාණ්ඩයේ 2.05%ක දායකත්වයක් පිළිවෙළින් ලබාදී ඇත. එහෙත් 2017 මැයි මාසයේ 7.1% ක්වූ උද්ධමනයට ආහාර කාණ්ඩයේ දායකත්වය 4.6%ක් හා ආහාර නොවන කාණ්ඩයේ දායකත්වය 2.5%ක්  විය.

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම සංසන්දනය කළවිට, 2018 අප්‍රේල් මාසයේ 122.9ක් වූ දර්ශකාංකය 2018 මැයි මාසයේ 124.3ක් දක්වා ඉහළ යාමක් වාර්තා විය. පසුගිය මාසය හා සංසන්දනය කළවිට 2018 මැයි මාසයේ දර්ශකාංකය 1.4ක වැඩිවීමක් එනම් 1.1ක ප්‍රතිශතකාංක වැඩිවීමක් වාර්තා විය. මෙම මාසික වෙනස්වීමට ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.55%කින් වැඩිවීම හා ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.61%කින් වැඩිවීම දායක වී ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම වැඩිවීම සඳහා එළවළු, අලුත් මාළු, ලොකුළූණු, දෙහි, අර්තාපල්, කුකුල් මස්, බිත්තර, කරවල, අමු මිරිස්, ඉඟුරු, ළදරු කිරිපිටි සහ කිරිපිටි යන ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීම බලපා ඇත. එසේ වුවත් පොල්, කෙසෙල්, පැපොල්, අඹ, සුදුළූණු, සහල් සහ කඩල යන ආහාර ද්‍රව්‍යවල මිල අඩුවීමක් වාර්තා වී තිබේ.

පසුගිය මාසය හා සංසන්දනය කළවිට, 2018 මැයි මාසයේ ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම වැඩිවීම සඳහා 'ප්‍රවාහන',  'නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන', 'සෞඛ්‍ය', ‘විවිධ භාණ්ඩ හා සේවා’, ‘විනෝදාත්මක හා සංස්කෘතික’, ‘ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු' සහ ‘රෙදිපිළි හා පාවහන්’ යන කාණ්ඩවල වියදම්වල වටිනාකම වැඩිවීම බලපා ඇත. 'ප්‍රවාහන' කාණ්ඩයේ වියදම්වල වටිනාකම වැඩිවීම සඳහා 2018 මැයි 11 සිට ඉන්ධන මිල ඉහළ දැමීම ප්‍රධාන වශයෙන් හේතු විය. 'නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන' කාණ්ඩයේ වියදම්වල වටිනාකම වැඩිවීම සඳහා 2018 අප්‍රේල් 28 සිට LP ගෑස් මිල ඉහළ දැමීම හා මැයි 11 සිට භූමිතෙල් මිල ඉහළ දැමීම හේතු විය. එසේ වුවත් පසුගිය මාසය හා සසදන විට ‘මධ්‍යසාර පාන වර්ග, දුම්කොළ හා මත්ද්‍රව්‍ය’ කාණ්ඩයේ වියදම්වල වටිනාකම අඩුවීමක් වාර්තා විය. මෙම මස තුළ  'සන්නිවේදන', ‘අධ්‍යාපන’ සහ 'ආපනශාලා සහ හෝටල් යන කාණ්ඩවලට අයත් කිසිදු අයිතමයක මිලෙහි වෙනසක් වාර්තා නොවූ බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment