කොළඹ නගර සභාවේ අර්බුධයක් : විපක්ෂ නායකකම දෙන්න බැහැ කියයි.




කොළඹ මහ නගර සභාවේ විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් දේශපාලන අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

කොළඹ මහ නගර සභාවේ බලය හිමි එක්සත් ජාතික පක්ෂය හැරුණු කොට වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විපක්ෂ නායක ධූරය ලබා දෙන්නැයි එම පක්ෂය දිගින් දිගටම කරන ඉල්ලීම් පාලක පක්ෂය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා එම අර්බුධය හටගෙන ඇතැයි පැවසේ.

කොළඹ මහ නගර සභාවේ විපක්ෂ නායක ධූරය වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් මහතා පත් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනා කර ඇතත් ඔහුට එම ධූරය ලබා දීම පාලක පක්ෂය ප්‍රතික්ෂේප කරමින් තිබෙන බව ද පැවසේ.

විපක්ෂ නායක ධූරයට වෙනත් මන්ත්‍රීවරයෙකු නම් කරන්නැයි පාලක එක්සත් ජාතික පක්ෂය නොනිල මට්ටමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට යෝජනා කර ඇතැයි ද වාර්තා වේ.

මේ අතර මහ නගර සභාවේ විපක්ෂ නායක ධූරයට පත් කරන්නේ කවුරුන් ද යන්න තීන්දු කිරීමේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තිබෙන අතර එවැනි බලයක් එජාපයට නැතැයි ද එම නගර සභාවේ මන්ත්‍රීනි ෂර්මිලා ජයවර්ධන ගෝනවෙල මහත්මිය නගරාධිපතිනිය වෙත ලිපියක් යවමින් සඳහන් කර ඇත.

නගර සභා ආඥාපනතේ “විපක්ෂ නායක ධුරයක්” සඳහන් නොවුවත් කොළඹ මහ නගර සභාව ආරම්භ වූ දින සිට ම විපක්ෂ නායකවරයෙකු පත් කිරීම සාම්ප්‍රදායිකව සිදු වූ බව ද ගෝනවෙල මහත්මිය යවා ඇති ලිපියේ සඳහන් කර තිබේ.

ඉකුත් කාලය පුරාම විපක්ෂ නායකවරයා ලෙස පත් කරන ලද්දේ මහ නගර සභාවේ දෙවැනි තැනට වැඩිම මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් හිමි තනි පක්ෂයට බව ද එම නිසා වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් මහතා විපක්ෂ නායකවරයා ලෙස නිල වශයෙන් පිළිගන්නා ලෙස ද මන්ත්‍රීවරිය එම ලිපිය මඟින් නගරාධිපතිනියගෙන් ඉල්ලා ඇත.

මේ අතර වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් මහතා විපක්ෂ නායක ධූරයට පත් කරන්නැයි ඉල්ලමින් විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකගේ අත්සනින් යුතුව ඉල්ලීමක් නගරාධිපතිනිය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද මන්ත්‍රීවරිය කීවාය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment