යුද හමුදාපතිගේ සේවා දිගුවෙන් ජෙනරාල්වරුන් 54කගේ ඉරණම විසඳෙන හැටි.



යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත හමුදාපති ධුරයේ රැඳී සිටින්නට ජනාධිපතිවරයා විසින් තවත් වසරක සේවා දිගුවක් ලබාදීමත් සමග මේජර් ජනරාල්වරුන් විශාල පිරිසකගේ ඉරණමට එය බලපා ඇති බව 'මව්බිම' වාර්තා කරයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ විසි දෙවැනි හමුදාපති ලෙසින් ඔහු පත්වන්නේ 2017 ජුනි 27දා සිටය. එවකට හමුදාපති ධුරයට පැවැති සීතල යුද්ධයකින් පසුව මහේෂ් සේනානායක මහතා හමුදාපති තනතුරට පත්වන්නේ දක්‍ෂතාවලින් පරිපූර්ණ නිලධාරියකු වූ නිසාය.

එදා හමුදාපති තනතුරට පැවැති සටන තිබුණේ මේජර් ජෙනරාල්වරුන් ලෙස සිටි මහේෂ් සේනානායක, බොනිපස් පෙරේරා සහ සුදන්ත රණසිංහ අතරය. සීතල යුද්ධයේදී නිහඬ පිළිවෙතක් අනුගමනය කළ මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක නිතැතින්ම හමුදාපති ධුරයට පත්වන්නේ එම තිදෙනා අතරින් ඔහු දීර්ඝකාලීන පාඨමාලාව හැදෑරූ පාබල නිලධාරියා ලෙස ඉහළින් සිටි නිසාය. 

සටනට ප්‍රවිශ්ඨ වූ අනෙක් නිලධාරීහු කෙටි කාලීන පාඨමාලා හදාරා යුද හමුදාවට එක්වූ අය වූහ.

ලොව කිසිම හමුදාවක භාවිත නොකරන ලේඛනයක් !

ලොව කිසිම හමුදාවක භාවිත නොකරන ජේ‍යෂ්ඨතා ලේඛනයක් භාවිත කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ එකී සම්ප්‍රදාය පසෙකලා දක්‍ෂ විනයගරුක පාබල නිලධාරියකු වූ මහේෂ් සේනානායක යුද හමුදාපති ධුරයට පත් කරන්නට සේනාධි නායක ලෙසින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කරන්නේ පසුගිය වසරේය.

මහේෂ් සේනානායක මහතා හමුදාපති ධුරයට පත්වන්නේ වයස අවුරුදු 55 සපුරා විශ්‍රාම ගැනීමට මාස එකහමාරක් පමණ තිබියදීය. පසුගිය වසරේ අගෝස්තු 19දා වයස අවුරුදු 55 සපුරන ලද ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හට වසරක සේවා දිගුවක් ලබාදෙන්නට ජනාධිපතිවරයා පියවර ගත්තේය.

දෙවන පෙළ සිතල යුද්ධය :

එම වසරක සේවා දිගුව මේ වසරේ අගෝස්තු 18 වැනිදා වන විට අවසන් වීමට තිබූ හෙයින් යුද හමුදාවේ ඊළඟට සිටින ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු ඊළඟ හමුදාපති ධුරයට පත් වන්නට සීතල සටනක් දියත් කළහ.

පෙර වතාවල යුද හමුදාපති ධුරයට පත් වන සටනේදී මෙන් මෙවරද එම ධුරය අපේක්ෂාවෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සර්ව ආගමික නායකයන් පසුපස හා දේශපාලනඥයන් පසුපස හඹා යන්නට වූහ.

තම මව් රෙජිමේන්තුව වන සිංහ රෙජිමේන්තුව නියෝජනය කළ මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න මීළඟ හමුදාපති ධුරයට පත් කරන්නට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා උත්සාහ කර තිබිණි. 

එම උත්සාහයන් අතරේ වයස අවුරුදු 55 සපුරා විශ්‍රාම ගැන්වීමට විශ්‍රාම පූර්ව ලිපි පවා යවා තිබූ මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න සේවා දිගුවක් සඳහා ඉල්ලීමක්ද කර තිබිණි.

මෙතෙක් ශ්‍රී ලංකා යුද හමුදාවේ මෙතෙක් ඊළඟ හමුදාපති ධුරයට නිර්දේශ වූයේ යුද හමුදාවේ දෙවැනි පුටුව ලෙස සැලකෙන මාණ්ඩලික ප්‍රධානී ධුරය හෙබවූවන්ය. විශ්‍රාම පූර්වකව සිටින මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න මේ වන විට සිටින්නේ ස්වේච්ඡා බලසේනා ආඥාපති තනතුරේය. ඔහු වයස අවුරුදු 55 සපුරාලන්නේ ලබන සැප්තැම්බර් 02 වැනිදාටය.

හමුදාපති ධුරය පෙනි පෙනීම විශ්‍රාම ලැබුවන් :

මේජර් ජෙනරාල් ධුරයේ රැඳී සිටියදී මීට පෙර වයස අවුරුදු 55 සපුරන ලද නිලධාරියකුට සේවා දිගුවක් ලැබුණේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා හමුදාපති ධුරය හොබවද්දීය. එවකට යාපනය ආඥාපතිව සිටි මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි වෙත සේවා දිගු නිර්දේශ වූයේ යාපනයේ ආරක්‍ෂාව වෙනුවෙන් ඔහු රඳවා තැබිය යුතු යන මතය නිසාය. 

ඉන්පසුව යුද හමුදාවේ යුද හමුදාපති ධුරය පෙනි පෙනීම දක්‍ෂ පාබල නිලධාරීන් වූ මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, මේජර් ජෙනරාල් ජගත් ඩයස් යන නිලධාරීන්ව වත්මන් රජය සමයේම විශ්‍රාම ගැනීමට සිදුවූයේ වයස අවුරුදු පනස් පහෙන් පසුව මේජර් ජෙනරාල්වරුන්ට සේවා දිගු ලබා නොදුන් නිසාය. 

එම නිලධාරීන් මාණ්ඩලික ප්‍රධානී තනතුර හෙවත් දෙවැනි පුටුව උසුලනු ලැබූවද හමුදාපති ධුරය පෙනි පෙනීම විශ්‍රාම ලබන්නේ සේවා දිගු නොලැබුණු නිසාය.

මෙවර යුද හමුදාපතිවරයා වෙත වසරක සේවා දිගුව අගෝස්තු මස අවසන් වත්ම මීළඟට හමුදාපති ධුරයට පත්වන්නට ජේ‍යෂ්ඨ නිලධාරීහු සීතල සටනක් කළහ. ඒ හමුදාපතිවරයාට සේවා දීර්ඝයක් ලදහොත් තමන්ට විශ්‍රාම ගන්නට සිදුවන බව දන්නා නිසාය.

ඍජු නායකත්වයක් දෙමින් කල කාර්ය භාරය:

වත්මන් යුද හමුදාපතිවරයා යුද හමුදාවට ඍජු නායකත්වයක් දෙමින් කරගෙන ගිය කාර්ය භාරය නිසාම යුද හමුදාපතිවරයාටත් වත්මන් ගුවන් හමුදාපතිවරයාටත් වසරක සේවා දිගුවක් ලබාදෙන්නට ජනාධිපතිවරයා කටයුතු කරන්නේ පසුගිය සිංහල අලුත් අවුරුද්දෙන් පසුවය. ඒ ඔවුන් කළ සේවාව වෙනුවෙනි. 

එම සේවා දිගුවක් ලබාදීම ගුවන් හමුදාපතිවරයාගේ සේවා කාලය අවසන් වන දිනය උදාවනතුරුය. අනෙක් නිලධාරීන් නොදැන සිටියා මෙන්ම යුද හමුදාපතිගේ සේවා දිගුව ගැන මෙම සතිය වනතුරුම එය කරළියට ආවේ නැත.

මීට පෙර වයස අවුරුදු 55 සපුරා අවසන් වූ පසුව හමුදාපති ධුරය හෙබවූ ජෙනරාල් සරත් ෆොන්සේකාට වසර තුනක සේවා දීර්ඝයක් දක්වා ලබාදෙන්නට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එවකට සේනා විධායක ලෙස කටයුතු කළේය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 21 වැනි හමුදාපති ලෙසින් පත්ව සිටි ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාත් වයස අවුරුදු 55 සපුරලීමෙන් පසුවත් පිට පිට වසර තුනක සේවා දිගුවක් ලබා වත්මන් රජය යටතේ සේවය කළේය.

එම අවස්ථාවට උරුමකම් කී ඊළඟ යුද හමුදාපතිවරයා වන්නේ ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකය.

මේජර් ජෙනරාල්වරු 54ක් විශ්‍රාම ගැනීමට :

මේ සමඟ ලබන වසර වන විට යුද හමුදා ජේ‍යෂ්ඨතා ලේඛනයේ රැඳී සිටින මේජර් ජෙනරාල්වරු පනස් හතරකට (54) ලබන වසර වන විට වයස අවුරුදු 55 සපුරා විශ්‍රාම ගැනීමට සිදුවන්නේය.

එය වත්මන් යුද හමුදාපතිවරයා විශ්‍රාම ගෙන වෙනත් අයකු හමුදාපති ධුරයට පත්වුවද අත්වන ඉරණමකි. වයස අවුරුදු 55න් පසුව මේජර් ජෙනරාල් ධුරයේ සිටින නිලධාරීන්ට සේවා දිගු ලබා නොදෙන නිසා මෙකී නිලධාරීන් පනස් හතරදෙනාටත් විශ්‍රාම ගන්නට සිදුවන්නේය.

මෙම නිලධාරීන් විශ්‍රාම ගැනීමත් සමඟ ජේ‍යෂ්ඨ මේජර් ජෙනරාල්වරු හතරක්, පහක් පමණ තවදුරටත් රැඳී සිටින අතර බ්‍රිගේඩියර් තනතුරේ රැඳී සිටින ජේ‍යෂ්ඨයන් හට මේජර් ජෙනරාල් තනතුරට උසස්වීම් ලැබීමේ අවකාශ ලැබෙන්නේය.

අවුරුදු 57 දක්වා රැඳී සිටින්නට යෝජනාවක් :

එකවර මේජර් ජෙනරාල්වරුන් හතළිස් ගණනකට විශ්‍රාම ගැනීමට සිදුවන නිසා වයස අවුරුදු 57 දක්වා රැඳී සිටින්නට ජනාධිපතිවරයා වෙත දේශපාලනඥයන් මාර්ගයෙන් යෝජනාවක් ගෙන එන්නට සමහර නිලධාරීන් උත්සාහ ගෙන තිබිණි. 

පසුගිය රජය සමයේ මේජර් ජෙනරාල්වරයකුට වයස අවුරුදු 57 දක්වා රැඳී සිටීමට ගෙන ආ ගැසට් පත්‍රය බලාත්මක කරවීම ඔවුන්ගේ අපේක්‍ෂාව වී තිබුණේය.

විශ්‍රාම කාලසීමාව වයස අවුරුදු 57 දක්වා ගෙන ඒමට වූ යෝජනාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ආරක්ෂක මණ්ඩලයේදී කරුණු විමසා තිබුණේය. එහිදී ගුවන් හා නාවික හමුදාපතිවරුන්ගේ කැමැත්ත පළවී තිබුණද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ කැමැත්ත පළ නොවූ වග ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සනාථ කළේය.

යුද්ධයට සක්‍රිය දායකත්වය දැක්වූ කනිෂ්ඨ නිලධාරීන්ට එමඟින් ඉහළට ඒමට ඇති හැකියාව අවහිර වන වග පෙන්වාදෙමින් යුද හමුදාපතිවරයා කරුණු දැක්වීම මීට හේතුවී තිබුණේය.

තමන් සිටි තනතුරේම උපරිම සේවා කාලය අවසන් කිරීම:

කෙටි කාලීන පාඨමාලා යටතේ එවකට බඳවාගත් නිලධාරීන්ට යුද සමයේදී වූ අවශ්‍යතාව මත මේජර් ජෙනරාල් ධුරය දක්වා උසස්වීම් ලබන්නට දුන් අවසරය නිසා පාබළ නිලධාරීන් රැසකට උසස්වීම් නොලබා විශ්‍රාම ගැනීමට සිදුවන්නේ තමන් සිටි තනතුරේම උපරිම සේවා කාලය අවසන් කිරීම නිසාය.

ජේ‍යෂ්ඨතා ලේඛනය අනුව මෙම වසරේදී හා ලබන වසරේදී විශාල පිරිසකට විශ්‍රාම ගැනීමට සිදුව ඇත්තේ 1984, 1985 වසරවල එකී නිලධාරීන් යුද හමුදාවට බැඳුණු අය නිසාය. එම කාල සීමාවේදී කැඩෙට් නිලධාරීන් වැඩිම පිරිසක් බඳවාගැනීම ඊට හේතුවය.

එම බඳවා ගැනීම් යටතේ එක්වුණු 1963, 1964 වසරවල උපන් නිලධාරීන් මෙසේ වයස අවුරුදු 55 සපුරා විශ්‍රාම ගැනීමට සූදානම් විය යුතුය.

යුද හමුදාවේ දෙවැනි පුටුව හොබවන මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු පාඨමාලා අංක 18 යටතේ එක්වී සිටින එකම පාබළ නිලධාරියාය. ඔහු මෙම වසරේ ඔක්තෝබර් 02 වැනිදා වයස 55 සපුරා විශ්‍රාම ගත යුතුය. 

මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න පාඨමාලා අංක 18ඒ යටතේ බැඳුණු නිලධාරියකු වන අතර ඔහු මේ වසරේ සැප්තැම්බර් 02 වැනිදා විශ්‍රාම ගත යුතුය.

විජයබාහු රෙජිමේන්තු නිලධාරියකු වන එම පාඨමාලාවටම අයත් මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ලබන වසරේ අප්‍රේල් 21 වැනිදා වයස 55 සපුරාලන්නේය.

පාඨමාලා අංක 19 යටතේ එක්වූ මේජර් ජෙනරාල්වරුන් 09 දෙනාටත් ලබන වසර වනවිට වයස 55 සපුරා විශ්‍රාම ගන්නට සිදුවෙයි. මේජර් ජෙනරාල් ආර්.එම්. ඩයස්ද ලබන වසරේ අප්‍රේල් 25 වැනිදා විශ්‍රාම ගත යුතුය. 

  • මේජර් ජෙනරාල්වරුන් වන ඩී.ටී. ලියනගේ (ලබන වසරේ නොවැම්බර් 14), 
  • රුවන් කුලතුංග (ලබන වසරේ ජූලි 05), 
  • යාපනය ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි (ලබන වසරේ ජූලි 22), 
  • මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා (ලබන වසරේ ජුනි 21)
  • මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා (ලබන වසර ඔක්තෝබර් 28)
  • මේජර් ජෙනරාල් වජිර පලිහක්කාර (ලබන වසර ජුනි 14)
  • මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ (මෙම වසර අගෝස්තු 30)
  • මේජර් ජෙනරාල් බිමල් විදානගේ (මෙම වසර දෙසැම්බර් 16) විශ්‍රාම ගත යුතුය.

පාඨමාලා අංක 18 යටතේ සිටින ඉන්ජිනේරු නිලධාරීන් වන මේජර් ජෙනරාල් ඩඩ්ලි වීරමන් (මෙම වසර අගෝස්තු 17) හා මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න (මෙම වසර ඔක්තෝබර් 30) මෙම වසරේ විශ්‍රාම ගත යුතුය.

ලබන ඔක්තෝබර් 10 හා නොවැම්බර් 24 හා මේජර් ජෙනරාල් පී. ජේ. රත්නායක හා ඩී.බී. පනන්වල වයස අවුරුදු 55 සපුරා විශ්‍රාම ගත යුතුය.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ඉරණම !

පාඨමාලා අංක 20 යටතේ එක්වූ මේජර් ජෙනරාල්වරුන් අතරින් දුෂාන් රාජගුරුට ලබන වසරේ සැප්තැම්බර් 21 දක්වාත් මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න 2020 අප්‍රේල් 18 දක්වාත්, මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන 2020 දෙසැම්බර් 14 දක්වාත්, මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ 2019 අප්‍රේල් 26 දක්වාත්, මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන 2019 අගෝස්තු 14 දක්වාත්, මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන 2019 ජුනි 21 දක්වාත් රැඳී සිටිය හැකිය.

පාඨමාලා අංක 21 යටතේ එක්වූ මේජර් ජෙනරාල් සනත් පෙරේරා මෙම වසරේ ඔක්තෝබර් 25දා 55 සපුරා
කෙටිකාලීන පාඨමාලා 04 යටතේ එක්වූ මේජර් ජෙනරාල්වරුන් වන අරුණ ජයසේකර (ලබන වසරේ ඔක්තෝබර් 18දාත්) හරේන් පෙරේරා (ලබන ජනවාරි 05දාත්) ලබන වසරේ විශ්‍රාම ගත යුතුය.

පාඨමාලා අංක 21 යටතේ එක්වූ මේජර් ජෙනරාල්වරුන් වූ රුවන් ද සිල්වා (2019 ජනවාරි 05) රැල්ෆ් නුගේරා (2019 අප්‍රේල් 04), නිශාන්ත වන්නිආරච්චි (ලබන වසර අප්‍රේල් 28), මනෝජ් මුදන්නායක (2020 මැයි 15) අරුණ වන්නිආරච්චි (2019 මැයි 09), මහින්ද මුදලිගේ (2020 මාර්තු 09), හරේන් ප්‍රනාන්දු (2020 සැප්තැම්බර් 30) මීළඟට වයස අවුරුදු 55 සපුරන්නට සිටින නිලධාරීන්ය.

මේජර් ජෙනරාල් එස්. කේ. පෙරේරා පාඨමාලා අංක 21 ඇල්ෆා යටතේ එක්වී ලබන වසර අප්‍රේල් 06දා 55 සපුරාලයි.

කෙටිකාලීන පාඨමාලා පහ යටතේ එක්වූ මේජර් ජෙනරාල්වරුන් වන එම්. එස්. පෙරේරා (2018.08.30), ලක්සිරි වඩුගේ (2020.04.15), අතුල කොඩිප්පිලි (2019.11.01) මෙන්ම කෙටි කාලීන පාඨමාලා 06 යටතේ එක්වූ ජී. වී. රවිප්‍රිය (2020.01.14) අතුල ගලගමගේ (2018.06.15) රාජ් රණවක (2019.11.03) වයස අවුරුදු 55 සපුරාලන මීළඟ කණ්ඩායමට අයත්ය.

දැනට ඇති තත්ත්වය අනුව පාඨමාලා අංක 19 යටතේ මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ හා මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ලබන අගෝස්තුවෙන් පසුව ඉහළට එන්නේය.

පාඨමාලා අංක 20 යටතේ ඉතිරි වන්නේ මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න, ජගත් ගුණවර්ධන දෙදෙනාය. මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාත් මෙම පිරිසේ සිටින මේජර් ජෙනරාල් ධුරයට පත් ළාබාලතම නිලධාරියාය.

මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු නුදුරේදී විශ්‍රාම ගැනීමත් සමඟ පුරප්පාඩු වන දෙවැනි පුටුවට පත්වන නිලධාරියා කවුදැයි තීරණය වීමත් සමඟ මීළඟ හමුදාපති කවුදැයි අනුමාන කළ හැකිය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment