''මරණ දඬුවමට එදත් විරුද්ධයි, අදත් විරුද්ධයි'' - මංගල.



මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් කුඩු ජාවාරම මැඩිය නොහැකි බවත් එය තමා ඇමැති මණ්‌ඩලයේදී ද ප්‍රකාශ කළ බවත් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (13 දා) මුදල් අමාත්‍යාංශයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.

'' මම මරණ දඬුවමට එදත් විරුද්ධයි අදත් විරුද්ධයි. හේතුව මරණ දඬුවම තියන කිසිම රටක අපරාධ අඩු වී නෑ'' යෑයි ද ඇමැතිවරයා කීවේය.

 ''මේ කුඩු තර්ජනය සැහැල්ලුවට ගන්න බෑ. එය සම්පූර්ණයෙන්ම අපේ තරුණ පරම්පරාවට බලපානවා. නමුත් මෙතනදී කුඩුවලට ඇබ්බැහි වන තරුණයන් සහ මේ රටට කුඩු ගෙන්වන මහා මුදලාලිලත් එක ගොඩට දාල බලන්න බෑ. 

ඇත්ත වශයෙන්ම කුඩුවලට ඇබ්බැහි වූ තරුණයන්ගෙන් හිරගෙවල් පිරෙව්වා කියලා මේ ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නෑ. ඒ අයව පුනරුත්ථාපනය කළ යුතුයි. 

නමුත් අර ඉන්න මහ උන් ටික මරණ දඬුවම ගෙනාවට අල්ලන්න පුළුවන්ද කියා මම අවංකමව ප්‍රශ්න කරනවා. මහා පරිමාණ කුඩුකාරයො ඔය මරණ දඬුවමෙන් අල්ලන්න පුළුවන් නම් හොඳයි. 

නමුත් මම නම් මිනිමැරුමකට වුණත් මරණ දඬුවම දෙනවට එකඟ නෑ. ඒ අයට ජීවිතාන්ත සිර දඬුවම් ලබාදී ජීවිතාන්තය දක්‌වාම සිර දඬුවම් විඳීමට සැලැස්‌විය යුතුයි'' යෑයි ද ඇමැතිවරයා කීවේය.

 එසේ වුවත් මුළු කැබිනට්‌ මණ්‌ඩලයම මරණ දඬුවමට එකඟ වූ බවත් ඒ නිසා තමා ඊට විරුද්ධ වුවත් පොදු තීන්දුවක්‌ ගෙන ඇති බවත් ඇමැති මංගල සමරවීර මහතා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තවදුරටත් කීවේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment