'සංවර්ධන ව්‍යාපෘති මන්දගාමීයි' - Aberdeen


Aberdeen Standard Investments හි ආසියානු කලාපයේ Sovereign Debt හා Fixed Income අංශයේ ප්‍රධානියා වන Kenneth Akintewe විසින් පසුගිය දා සම්පාදනය කරන ලද ලිපියකින් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික හා දෙශපාලනික වාතාවරණය පිළිබඳ පුළුල් විග්‍රහයක් සිදුකර තිබේ.

“Letter from Sri Lanka: a bond market opportunity? “(ශ්‍රී ලංකාවෙන් ලිපියක් - බැඳුම්කර වෙළෙඳපොළක අවස්ථාව?), යන්න තේමාකර ගනිමින් Kenneth Akintewe විසින් ලිපියෙහි ආරම්භයෙහි මෙසේ සඳහන් කොට තිබේ.

“ශ්‍රී ලංකාව ගැන කතා කරන විට තේ, ක්‍රිකට්, මුහුද, සෆාරි යනාදිය අපේ මතකයට එන ධනාත්මක කාරණාවන්. නමුත් රටේ තිබෙන දේශපාලනික ආරවුල්, වියවුල් සහගත ප්‍රතිපත්ති, විනිමය අවප්‍රමාණය හා තවමත් අර්බුදයක් වී ඇති බැඳුම්කර සිදුවීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිරන්තරයෙන් අසන්නට ලැබෙන සෘණාත්මක කාරණාවන් බවට පත්වෙලා. රටේ මහබැංකු අධිපතිවරයා වූ අර්ජුන මහේන්ද්‍රන් සහ මුදල් ඇමතිවරයා වූ රවී කරුණානායක හට, මේ බැඳුම්කර සිද්ධිය නිසා ඔවුන්ගේ තනතුරුවලින්ම වන්දි ගෙවන්නට සිදුවුණා. සම්මුතිවාදී රජයේ ආරම්භයේ දී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කැපී පෙනෙන ලෙස ඉහළ දැමීම, අද වන විට රටේ රාජ්‍ය මූල්‍ය තත්ත්වයට සිදුකර ඇත්තේ අහිතකර බලපෑමක්.“

මෙම ලියුම්කරුවා සඳහන් කරන පරිදි රට තුළ ක්‍රියාත්මක ප්‍රධානතම සංවර්ධන ව්‍යාපෘතීන් මේ වන විට යන්නේ ඉබි ගමනකය. දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශාලතම යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය වන ඩොලර් බිලියන 15ක වටිනාකමකින් යුතු පෝර්ට් සිටි ව්‍යාපෘතිය ද ඒ අතර වේ. තවද රට තුළ ට  සංචාරකයින් ගෙන්වා ගැනීම ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධානතම ඉලක්කයක් වුවත්, ඒ සඳහා සපුරාලිය යුතු මූලික අවශ්‍යතාවයක් වන ගුවන් තොටුපොළ පුළුල් කිරීම ද පවතින්නේ මන්දගාමී පසුබිමකය.

සිය ලිපිය තුළින් Kenneth Akintewe වැඩිදුරටත් මෙසේ අවධාරණය කරයි.

නව රජය බලයට පත්වීමත් සමඟම හඳුන්වා දෙන ලද එක්වරක් පමණක් ගෙවිය යුතු සුපිරි ලාභ බද්ද, සමාගම් පීඩාවට පත්කරලන්නක් විය. එසේම බැංකු සහ විදුලිසංදේශ බදු මෙන්ම සීනි බද්ද ද ව්‍යාපාර සඳහා අහිතකර ලෙසින් බලපා තිබේ. මීට අමතරව අලුතින් ස්ථාපිත කරන ලද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ද විමසිල්ලෙන් සිටී.

ශ්‍රී ලංකාව තවදුරටත් ඉහළ රාජ්‍ය ණය, විදේශ අංශය දුර්වල වීම යනාදී අංශවලින් කම්පනයට ලක්ව ඇත. මෙම දුර්වලතා ශ්‍රී ලංකාවට හිමිව ඇති ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම්වලින් මනාව පිළිබිඹු වේ. S&P හා Fitch ශ්‍රේණිගත කිරීම් ද්විත්වයෙහිම එය B+ ලෙසින් සටහන් වේ.

සම්මුතිවාදී රජයේ නායකයින්ගේ මේ වන විට අවධානය යොමුව ඇත්තේ 2020 ද එළඹෙන මහමැතිවරණය දෙසටය. එහිදී තනිව තරඟ කරන බවට පවසන ඔවුන්, ඒ දක්වා රජය පවත්වාගෙන යාමට කටයුතු කරනු ඇත.

මෙවැනි වාතාවරණයක් තුළ ජාත්‍යන්තර ආයෝජකයින් සිය ආයෝජන දේශපාලන අස්ථාවරභාවයක්, මන්දගාමී ආර්ථික වර්ධනයක් පවතින රටවල සිදුකිරීමට ප්‍රවේශම් වනු ඇත.

එහෙත් ශ්‍රී ලංකාව සම්බන්යෙන් සතුටු විය හැකි කාරණා නැතුවාම නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන කැපී පෙනෙන වර්ධනයන් කිහිපයක්ම සහිතව ක්‍රියාත්මක වෙමින් පවතී. බදු සහ ඉන්ධන මිල ප්‍රතිසංස්කරණ ඒ අතුරින් ප්‍රධාන වේ. 2017 දී 3.1%කින් වර්ධනය වුණු ශ්‍රී ලංකා ආර්ථිකය මේ වසරේ දී 4.6% ක් වනු ඇති බවට ගණන් බලා තිබේ. එසේම 2018 දී උද්ධමනය ද 5% ක මට්ටමක පවතිනු ඇත.

Aberdeen Standard Investments හි ආසියානු කලාපයේ Sovereign Debt හා Fixed Income අංශයේ ප්‍රධානියා වන Kenneth Akintewe විසින් මෙම ලිපිය සම්පාදනය කරනුයේ නොබෝදා ඔහු කළ ශ්‍රී ලංකා සංචාරයකින් අනතුරුවය. ඔහු එහිදී මෙරට වත්මන් හා පැවති රජයේ නිලධාරීන් මෙන්ම ව්‍යාපාරිකයින් සමඟ ද සාකච්ඡා පවත්වා තිබේ.

එම සාකච්ඡා එළඹෙන මහමැතිවරණයේ දී දේශපාලන වෙනසක් දක්වා දුර නොගිය බවත්, ඇතැම් විට රටේ නායකත්වයේ වෙනසක් සිදුවුවහොත් එය ප්‍රතිපත්ති සංශෝධනවලට හා ප්‍රතිසංස්කරණවල ප්‍රගතියට අහිතකර අයුරින් බලපෑ හැකි බවත් Kenneth Akintewe ගේ අදහස වී තිබේ. දේශපාලන වෙනසක් ව්‍යාපාරවලට යහපතක් වේ යැයි තර්ක කළ හැකි වුවද අලුතින් ක්‍රියාවට නංවන ලද බදු ප්‍රතිපත්ති වැනි දෑ වෙනස් කිරීමෙන් ශ්‍රේණිකිරීමේ ආයතනවලින් එය සෘණාත්මක තත්ත්වයක් ලෙසින් බාරගත හැකි බව ඔහු මෙහිදී වැඩිදුරටත් දක්වා ඇත.

Kenneth Akintewe තම ලිපියේ තවදුරටත් මෙලෙස සඳහන් කර ඇත.

2020 මැතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවද, රටේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යපෘති වෙත අවධානය තවදුරටත් යොමු වනු ඇත. විශේෂයෙන්ම ප්‍රවාහන හා භාණ්ඩ හැසිරවීමේ පහසුකම් ඒ අතුරින් වැදගත් වේ.

සංචාරකයින්ගේ පැමිණීම 2017 වසරේ දී මිලියන 2.1 කි. මෙය තවදුරටත් වර්ධනය කරලීමට නම් ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් වැඩි අවධානයක් ලබා දිය යුතුවේ. විශේෂයෙන්ම ගුවන්තොටුපොළ ධාරිතාව දෙගුණයක් බවට පත් කළ යුතුය. තවද කොළඹ වරායේ ධාරිතාවය ද මීළඟ වසර කිහිපය තුළ දී 100% මට්ටමට පැමිණෙනු ඇත.

මෙහිදී Kenneth Akintewe විශේෂයෙන් සඳහන් කර සිටින්නේ දීනය, ඉන්දියාව හා සිංගප්පූරුව වැනි රටවල් සමඟ අත්සන් කිරීමට යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම් හැකි ඉක්මනින් අවසන් කළ යුතු බවයි.

ඔහු අවසාන වශයෙන් මෙසේ කියා සිටී.

“ආසියාවේ අනෙකුත් බැඳුම්කර වෙළෙඳපොළ හා සැසඳීමේ දී ශ්‍රී ලංකාව ද්‍රවශීලතාවයෙන් වඩාත් ඉහළ වෙළෙඳපොළක්. විදේශ හිමිකාරීත්වය 5% කටත් වඩා පහළ මට්ටමක පැවතීම මෙලෙසින් ශ්‍රී ලංකාවේ බැඳුම්කර වෙළෙඳපොළ ඉහළ ද්‍රවශීලතාවයක් ගැනීමට හේතු වී තිබෙනවා. එමෙන්ම දේශීය විනිමය වෙළෙඳපොළ ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ අභ්‍යන්තරව. එම නිසා බාහිර කම්පන සමඟ දක්වන්නේ අඩු සමසම්බන්ධතාවයක්. මෙවැනි තත්ත්වයක් තුළ ආයෝජකයෙකුට විශාල අවදානමක් දැරීමට සිදුවෙනවා. කෙසේ නමුත් විනිමය අවප්‍රමාණය වීමක දී පවා කලාපයේ අනෙකුත් රටවල් සමඟ සැසඳීමේ දී ශක්තිමත් ප්‍රතිලාභයක් ලබා දීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.“

2017 වසරේ දී Standard Life plc සහ Aberdeen Asset Management PLC යන සමගම් දෙකේ ඒකාබද්ධ වීමෙන් බිහිවුණු Standard Life Aberdeen plc දැනට ලොව ඇති විශාලතම ආයෝජන සමාගම්වලින් එකකි. Aberdeen Standard Investments සන්නාමයෙන් ක්‍රියාත්මක මෙම සමාගම 2017 දෙසැම්බර් 31 දින වන විට කළමනාකරණය කරනු ලබන මුළු ආයෝජිතවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 778.7 ක් ලෙසින් වාර්තා වේ.

ලොව පුරා රටවල් 80 ක ගනුදෙනුකරුවන් හට සේවා සලසන Aberdeen Standard Investments, ගෝලීය වශයෙන් ස්ථාන 46 ක තම කාර්යාල පවත්වාගෙන යනු ලබන අතර ස්ථාන 24 ක ආයෝජන මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment