විපක්ෂ නායකකම මට : දිනේෂ්-වෙල්ගම ගැටෙති.


පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබාගැනීම සඳහා මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උපසභාපතිවරයකු වන කුමාර වෙල්ගම යන මන්ත්‍රීවරුන්ගේ බල අරගලය හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ දෙකට බෙදී දැඩි අර්බුදයක් නිර්මාණය වී තිබේ.

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් විමසීමදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ විපක්ෂ නායක ධුරය හිමිවන්නේ කාටදැයි තීරණය කිරීම සඳහා අගෝස්තු 7 වැනිදා වන තෙක් කල් ලබා දෙන ලෙස කථානායකවරයා තමා සමඟ පැවැත්වූ සාක්ච්ඡාවකදී පැවසූ බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අතර විපක්ෂ නායක ධුරය ලබාගැනීම සම්බන්ධයෙන් අද (31) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උපසභාපතිවරයකු වන කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරය හිමිවිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කර ඉකුත් පළාත් පාලන මැතිවරණය ජයගත් මන්ත්‍රීවරුන් පිරිසක් පැවසීම හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ අතර මතගැටුමක් නිර්මාණය වී තිබේ. ඒ පිළිබඳව කළ විමසීමේදී හිටපු අමාත්‍ය වෙල්ගම මහතා කීවේ තමාට විපක්ෂ නායක ධූරය දැරීමට සුදුසුකමක් ඇති බවයි.

එමෙන්ම 2015 වසරේදී ඒකාබද්ධ විපක්ෂයට ගිය අවස්ථාවේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය තමා වෙතත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙතත් පවරා කථානායක කරු ජයසූරිය මහතාට ලිපියක් යොමු කොට තිබූ බවද කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය. එම වකවානුවේ තමා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ බැවින් විපක්ෂ නායක ධුරය දැරීම සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගුණු නිසා සන්ධානයෙන් ඉවත් වී ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස මහින්ද රාජපක්ෂ පාර්ශ්වය නියෝජනය කළ බව ඒ මහතා පැවසීය.

මේ අතර සමස්ත ලංකා පළාත් පාලන සංසදයේ සභාපති උදේනි අතුකෝරළ මහතා කළ විමසීමකට පිළිතුරු දෙමින් පැවසුවේ විපක්ෂ නායක ධුරය දැරීමට වඩාත් සුදුසු පුද්ගලයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතාට පසු ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයා වන කුමාර වෙල්ගම මහතා වන බවයි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීම සඳහා මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය සහ දේශ විමුක්ති ජනතා පක්ෂය ප්‍රමුඛ දේශපාලන පක්ෂ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් පැන නැඟී ඇති අර්බුදය හේතුවෙන් එම පක්ෂ දෙපිලකට බෙදී ප්‍රතිවිරෝධතා තීව්‍ර වී ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග වලින් පැවසේ.

[රැස | දසුන් රාජපක්ෂ]

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment