නොහික්මුණ ලොරිය දීප්තිමත් සිසුවාගේ ජීවිතය ගිලගත් හැටි

වැලිපැන්නගහමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි කේ. ඩී. දිල්මිණ උදාකර සෙනෙවිරත්න සිසුවා ඉකුත් දිනෙක නාත්තන්ඩිය නගරයේ පැවැත්වෙන උපකාරක පංතියකට සහභාගිවීම සඳහා නිවසින් පිටත්ව ගොස්‌ කුලියාපිටිය නාත්තන්ඩිය මාර්ගය හරහා ගමන් කිරීමට සූදානම් වන අවස්‌ථාවේ නාත්තන්ඩිය ප්‍රදේශයේ සිට
ගමන් ගත් කුඩා ප්‍රමාණයේ ලොරි රථයකට ගැටීමෙන් රෝහල්ගත කිරීමෙන් පසු මියගියේය. එම ලොරි රථය අධික වේගයෙන් පැමිණ ඇති අතර වේගය පාලනය කළ නොහැකිව මෙම අනතුර සිදුවී තිබේ.

මහමග ගමන් ගන්නා වාහන වල කොතරම් නවීන තාක්‍ෂණික උපකරණ සවිකර තිබුණත් එහි රියදුරු අසුනේ සිටින පුද්ගලයා සදාචාරසම්පන්න, විනය ගරුක නොවන අයෙක්‌ නම් මහමග ගමන් ගන්නා ජනතාවට අත්වන ඉරණම සුළුපටු නොවන බව නාත්තන්ඩිය ධම්මිස්‌සර ජාතික පාසලේ විදුහල්පති අනිල් පුෂ්පකුමාර මහතා කියා සිටී.

 රිය අනතුරකින්

ජීවිතක්‍ෂයට පත්වූ ධම්මිස්‌සර ජාතික පාසලේ 9 වසර ඉගෙනුම ලබමින් සිටි කේ. ඩී. දිල්මිණ උදාකර සෙනෙවිරත්න සිසුවාගේ අවමංගල්‍ය උත්සවයේදී විදුහල්පතිවරයා එසේ කියා සිටියේය.

 අද අපේ මාර්ග පද්ධතිය හොඳින් දියුණු වෙලා තියෙනවා. කාපට්‌ අතුරා සංවර්ධනය වෙලා තියෙනවා. ඒ වාගේ වාහන වේගයෙන් ධාවනය කළ හැකි ආකාරයට සකස්‌වී තිබෙනවා. නවීන පන්නයේ වාහන තියෙනවා. ඒ වාහන වල තාක්‍ෂණයෙන් ඉහළ අංගෝපාංග සවිවෙලා තිබෙනවා. මේ ආකාරයට වාහන නවීනත්වයට සකස්‌ වුණාට එහි රියදුරු වර්තමාන සමාජයට අනුව හිත දියුණු කරගන්න සංයමයක්‌ නොමැති තිරිසනුන් සේ හැසිරෙනව නම් මේ වගේ ඛේදවාචකයන් බලාපොරොත්තු විය හැකියි.

දිල්මිණ උදාකර සිසුවා ඉගෙනීමට මෙන්ම ක්‍රීඩාවටත් එකසේ දස්‌කම් දැක්‌වූවා. මෙම සිසුවා ගණිතය විෂයට ඉතාම දක්‍ෂයි. ජාත්‍යන්තර මට්‌ටමේ පවත්වන ඔලිම්පියාඩ් තරගය සඳහා ඔහු සුදුසුකම් ලබා තිබෙනවා. එමෙන්ම විද්‍යාලයේ 15 න් පහළ වොලිබෝල් කණ්‌ඩායමේ නායකයා. අපේ විද්‍යාලයට මෙන්ම රටට කීර්තියක්‌ ගෞරවයක්‌ ලබාදීමට සිටි දරුවෙක්‌ අහිමිවීම ගැන දැඩි කම්පනයක්‌ ඇතිවෙන්නෙ.

 පසුගිය මාස 02 ක තුළ අප ධම්මිස්‌සර විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙක්‌ අනපේක්‍ෂිත ලෙස මියගියා. 11 වසර ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකු රෝගාබාධයකට ලක්‌ව මියගියා. දිල්මිණ උදාකර සිසුවාගේ මරණයට සතියකට ඉහතදී ඔහුගේ සමීපතම මිතුරා 9 වසර ඉගෙනුම ලබමින් සිටි සඳරු නවෝද්‍ය සිසුවාද මියගියේ මෙවැනිම නොහික්‌මුණ යතුරු පැදිකරුවකුගේ ක්‍රියාකලාපය නිසයි.

 විදුහල්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.


-අමරනන්ද විඡේසේකර-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment