කාලගුණේ හරියට කියන්න බැලුන් ගන්න සල්ලි නෑ


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවැරැදි දත්ත සහිත තොරතුරු ජනතාවට දීමට නම් දිනකට දිවයින පුරා බැලුන් (රේඩියෝ සවුන්ඩ් උපකරණය) තිහක් උඩුගුවනට යැවිය යුතු අතර දැනට කොළඹින් පමණක් සතියකට දෙපාරක් බැලුන් යැවීම සිදුකර දෙන තොරතුරුවල අඩුපාඩු තිබන බව කාලගුණ විද්‍යා
දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ පී.එච්. චමින්ද සිල්වා මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ආපදා කළමනාකරණය සම්බන්ධ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සඳුදා (16) පැවැති වැඩමුළුවකදීය.


මෙහිදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ පී.එච්. චමින්ද මහතා කියා සිටියේ මෙම බැලුනයක් උඩුගුවනට යැවීම සඳහා රුපියල් තිස් දහසක පමණ මුදලක් වැය වන අතර සාමාන්‍යයෙන් යැවිය යුතු බැලුන් තිහ යැවීමට නොහැකි හෙයින් කොළඹින් පමණක් සතියකට දෙපාරක් බැලුන් උඩුගුවනට යවා දත්ත රැස්කර ගන්නා බවයි.

මෙමගින් නිවැරැදි කාලගුණ තොරතුරු ජනතාව අතරට නොයන හෙයින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි පිළිගැනීමට නොහැකි බවට ජනතාව අතර තිබෙන මතය සාධාරණ නොවේදැයි මෙහිදී මාධ්‍යවේදීන් දිගින් දිගටම ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥයාගෙන් ප්‍රශ්න කළේය. දත්ත සපයා ගැනීමට අවශ්‍ය සම්පත් නොමැති නම් නිලධාරින් ලෙස අපි මොනවා කරන්නදැයි යන්න ඔහුගේ පිළිතුර විය.

2020 වන විට ජපානයෙන් රේඩාර් යන්ත්‍ර දෙකක් ලංකාවට ලැබෙන අතර පුත්තලම් සහ පොතුවිල ඒවා සවිකිරීමට නියමිත වී ඇති බවද එවිට යම් තරමකින් දත්ත ලබාගැනීමට හැකි වන බවද චමින්ද මහතා කීය. චන්ද්‍රිකා සැටලයිට් මගින් දැනට පැය තුනකට වරක් ලැබෙන දත්තවලින් තොරතුරු ලබාදෙන අතර පැය තුනකට පසු වෙනස්කම් ඊළඟ පැය තුනේදී ලැබෙන හෙයින් එයද ප්‍රායෝගික නොවන බව චමින්ද මහතා සඳහන් කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment