නාවලපිටිය සතොස ඇතුළේ ගංජා බිස්‌නස්‌


නාවලපිටිය සතොස ආයතනය තුළ තබා ගනිමින් කේරළ ගංජා අලෙවි කළ එහි සේවකයකු, තැරැව්කරුවකු සහ පාසල් ළමුන් දෙදෙනකු නාවලපිටිය පොලිසිය මගින් 24දා අත්අඩංගුවට ගෙන තිබේ.

 පාසල් ළමයකු ළඟ ගංජා පැකට්‌ ඇති බවට ලද තොරතුරකට නාවලපිටිය බස්‌ නැවතුම්පළ වෙත ගිය කාන්තා පොලිස්‌ කොස්‌තාපල් (3660) සමන්මලී, පොලිස්‌ කොස්‌තාපල් (37426) ජයසේකර සහාය කර ගනිමින් එම සිසුවා පරීක්‌ෂා කර තිබේ.

 ඒ අනුව එම ගංජා පැකට්‌ සොයාගෙන එම සිසුවාගෙන් ලද තොරතුරු මත හරංගල ප්‍රදේශයට ගොස්‌ කේරළ ගංජා සමඟ තවත් පාසල් සිසුවකු අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරුව එම සිසුවාට කේරළ ගංජා ගෙනවිත් දුන් අයට උපායශීලීව දුරකථන ඇමතුමක්‌ දී තවත් ගංජා පැකට්‌ අවශ්‍ය බව දන්වා තිබේ.


 එම තැරැව්කරුවා යතුරුපැදියකින් ගංජා රැගෙන පැමිණි අවස්‌ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් මෙහි ප්‍රධාන ජාවාරම්කරුවා සොයාගෙන තිබේ.

 ඒ අනුව පොලිස්‌ කණ්‌ඩායමක්‌ නාවලපිටිය සතොස ආයතනය වෙත යන විටත් ප්‍රධාන විකුණුම්කරුවා එහි සේවය කරමින් සිට ඇති අතර, සතොස ආයතනය තුළ තබා තිබූ ඔහුගේ ගමන් බෑගයේ තිබී කේරළ ගංජා පැකට්‌ 6 ක්‌ සොයාගෙන තිබේ.

 මෙම ප්‍රධාන සැකකරු කොට්‌ටාව ප්‍රදේශයේ සිට අවිස්‌සාවේල්ල හරහා මෙම කේරළ ගංජා රැගෙනවිත් රාජ්‍ය ආයතනයක රැකවරණය ලබා ගනිමින් පාසල් ළමුන්ටද මෙසේ ගංජා අලෙවි කර ඇති බව අනාවරණය කරගෙන තිබේ.

 සියලු සැකකරුවන් නාවලපිටිය මහෙස්‌ත්‍රාත් ශ්‍රීනාත් විඡේසේකර මහතා වෙත ඉදිරිපත් කළ පසු ප්‍රධාන සැකකරු වන උඩුවැල්ල ප්‍රදේශයේ පදිංචි සමීර මධුරසිංහ නමැත්තාට රුපියල් දසදහසක දඩයක්‌ හා බරපතළ වැඩ ඇතිව වසරක සිර දඬුවමක්‌ ලබා දී එය වසර දහයකට අත්හිටු වීය. තැරැව්කරුවාටද රුපියල් දසදහසක දඩයක්‌ නියම කර මාස හයක සිරදඬුවමක්‌ ලබා දී එය වසර 10 කට අත්හිටුවනු ලැබීය.

 සිසුන් දෙදෙනාගෙන් එක්‌ අයෙකුට රුපියල් දසදහසක දඩයක්‌ ද අනෙක්‌ කෙනාට රුපියල් දසදහසක රජයේ ගාස්‌තුවක්‌ ද නියම කෙරිණි.

-සුරංග දිල්හාන්-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment