බදු අඩු කළොත් තෙල් අඩුවට දෙන්න පුළුවන් : තෙල් ඇමැති අර්ජුන.



ඉන්ධන මිල ඉහළ දැමීමේදී ජනතාව නොසලකා හැරීම නොකළ යුතු යැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පෙන්වා දෙයි. ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ ඉන්ධන මිල වැනි සංවේදී විෂයක් ගැන තීරණ ගැනීමේදී සැම විටම ජනතාවගේ පැත්තෙන් සිතා තීරණ ගත යුතු බවයි. ලාභ ලබන ආයතනයක් ලෙසට වඩා මහජන සේවා සපයන ආයතනයක් ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවත්වාගෙන යා යුතු බවද ඔහු අවධාරණය කර සිටී. ඒ පසුගිය 11 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කිරීමෙන් පසුව පළමුවරට මාධ්‍ය වෙත අද (14) අදහස් දක්වමිනි. අදහස් දැක්වීම ගණේමුල්ල හොරගොල්ල ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍ර රණවිරු ස්මාරකය අසල පැවැති රණවිරු සැමරුම් උත්සවයෙන් පසුව සිදු කෙරිණ. මාධ්‍යෙව්දීන් ඇසූ ප්‍රශ්නවලට වැඩිදුරටත් පිළිතුරු දෙමින් අර්ජුන රණතුංග අමාත්‍යවරයා පැවසුවේ පසුගිය වර ඉන්ධන මිල ඉහළ දැමීමට තමා එකඟ නොවූවේද මහජනතාවගේ පැත්තෙන් සිතා බවයි.

“තෙල් සංස්ථාව පමණක් නෙමෙයි විදුලි බල මණ්ඩලය, ජල සම්පත් මණ්ඩලය වැනි ආයතන ලාභ ලබන ආයතන පමණක් ලෙසම ඉදිරියට ගෙන යාමට මම එකඟ වෙන්නේ නැහැ. මම කියන්නේ මෙවැනි ආයතන පාඩුවක් ලබනවා නම් එය ආයතනයේ පාඩුවකට වඩා මහජනතාවට ලබා දෙන ලාභයක් ලෙස, සහනයක් ලෙස අපි සැලකිය යුතුයි. පසුගිය අවස්ථාවේ ඉන්ධන මිල වැඩි කරන විට මම ඊට එකඟ නොවුණේ ඒ පදනමින්. යම්කිසි විදියකින් ඉන්ධන මිල වැඩි නොකිරීමෙන් සංස්ථාවට යම් පාඩුවක් වෙනවා නම් එය අපි භාරගනිමු කියන පදනමින්. ඒක විරෝධයක් නෙමෙයි. එකඟ නොවීමක්.

ඇත්තටම ගත් විට තෙල් ව්‍යාපාරයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පාඩුවක් නැහැ. අපිට පොඩි ලාභයක් තියාගෙන තෙල් විකුණන්න පුළුවන්. නමුත් ප්‍රශ්නය වෙලා තියෙන්නේ තෙල් මත පනවන බද්ද. බද්ද අඩුකළොත් තෙල් මිල අඩු කරන්න පුළුවන්. නමුත් එහෙම කියලා මේ බද්ද ඉවත් කිරීමේ හැකියාවක් ඇත්තෙත් නැහැ. මොකද රටේ ඉදිරි සංවර්ධන කටයුතු රැසකට මේ බදු මුදල හේතු වෙනවා. ඒ නිසා තෙල් මිල සංශෝධනයට අකැමැත්තෙන් වුවත් කැමති වීමට කැබිනට් මණ්ඩලයේ අපිට සිදු වෙලා තියෙනවා. අපි ආණ්ඩුව ගත් අවස්ථාවට වඩා දැන් බොරතෙල්හි මිල වැඩියි. ඉදිරියේදී ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල පහළ යනු ඇතැයිද අපි විශ්වාස කරනවා..” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. ඔහු තවදුරටත් අවධාරණය කළේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අනුව දේශීය ඉන්ධන මිල සංශෝධනය කිරීමේ වගකීම මේ වන විට මුදල් අමාත්‍යාංශයට සහ භාණ්ඩාගාරයට භාර දී ඇති බවයි.  ඉන්ධන මිල වැඩි වන විට සේම ඉන්ධන මිල අඩුවන විට සෙසු භාණ්ඩවල සහ සේවාවල මිල ගණන් පහළ බසිනු ඇති බවත්ද ඔහු කියා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment