නිවාඩු මාසවල ගුරු වැටුප් කපන කතාව කෙප්පයක් - ඇමති අකිල

ගුරුවරුන්ට නිවාඩු මාසවල ගුරු වැටුප් නතර කරන්නේ යැයි සඳහන් කරමින් අන්තර්ජාලය තුළ ප්‍රචාරය වන පුවත සම්පූර්ණ අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යවරයා නිවාඩු මාසවල ගුරු වැටුප් ගෙවීම නතර කිරීමට
අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බවට අන්තර්ජාල මාධ්‍ය හරහා ප්‍රචාරය වන මෙම පුවතේ යටි අරමුණ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිරූපය විනාශ කිරීමේ නිර්ලජ්ජිත කුමන්ත්‍රණයක් බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.


අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා බදුල්ලේදී පැවැසූ බව දක්වමින් වෙබ් අඩවියක පළවූ මෙම අසත්‍ය පුවත තවත් කණ්ඩායම් විසින් මුදල් ගෙවා ෆේස්බුක් සමාජ ජාලා ඔස්සේ ව්‍යාප්ත කරමින් පවතින බවද අධ්‍යාපන අමාත්‍යාංශය එම නිවේදනයෙන් සඳහන් කරයි.

කුමන්ත්‍රණකරුවන් අදාළ ප්‍රවෘත්තිය රිවිරෙන් උපුටා ගත් බව ප්‍රකාශ කරන නමුත් රිවිර නිල වෙබ් අඩවියේ හෝ දැනට සති අන්ත ඉරිදා දිනයේ පමණක් නිකුත් කෙරෙන රිවිර පුවත්පතේ හෝ එවැනි ආකාරයේ කිසිදු ප්‍රවෘත්තියක් පළ නොවූ බව රිවිර කතෘ මණ්ඩලය  සනාථ කර තිබේ.
සිතාමතා ද්වේශ සහගතව අමාත්‍යවරයාගේ ප්‍රතිරූපයට හානි වන ලෙස තොරතුරු පළ කර ඇති අදාළ වෙබ් අඩවි සහ අදාළ සමාජ මාධ්‍ය ජාලා තුළ සැලැසුම් සහගතව අසත්‍ය පුවත් ප්‍රචාරය කළ පුද්ගලයන් හා පුද්ගල කණ්ඩායම් පිළිබඳව අමාත්‍යාංශය මට්ටමින් ඊයේ (15දා) පොලිසියට ඉදිරිපත් කර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබුණි..‍
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment