මානව සංවර්ධන දර්ශකයේ, දකුණු ආසියාවේ පළමු තැන ශ්‍රී ලංකාවට.


ජගත් මානව සංවර්ධන දර්ශකයේ දකුණු ආසියාවේ ප්‍රමුඛස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන මගින් එහි නවතම දත්ත දැන් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව රටවල් 189ක් අතරින් ශ්‍රී ලංකාවට 76 වැනි ස්ථානය හිමි වී තිබේ.

ශ්‍රී ලංකාව හැරුණු විට දකුණු ආසියාතික රටක් එහි හිමි කර ගෙන ඇති ඉහළ ස්ථානය වන්නේ මාලදිවයිනට හිමිව ඇති 101 වන ස්ථානයයි.

ඉන්දියාවට හිමිව ඇත්තේ 130 වැනි තැනය. භූතානය 134 ස්ථානයත් බංග්ලාදේශය 136 වැනි ස්ථානයත් හිමි කර ගෙන ඇති අතර නේපාලයට 149 වන තැනත් පකිස්ථානයට 150වැනි ස්ථානයත් හිමි වී තිබේ. මානව සංවර්ධන දර්ශකයේ ප්‍රමුඛස්ථානය නොර්වේ රාජ්‍යයට හිමිව ඇති අතර ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රේලියාව අයර්ලන්තය සහ ජර්මනිය අනෙක් මුල් පෙළ රටවල් වේ.

දකුණු ආසියාතික කලාපය මානව සංවර්ධන කලාප අතරින් වැඩිම වර්ධනයක් එනම් 1990 සිට සියයට 45 දශම 3ක වර්ධනයක් සලකුණු කරයි. 1990 සිට 2017 දක්වා ශ්‍රි ලංකාවේ මානව සම්පත් සංවර්ධනය සියයට 23 දශම 2 කි. මෙම දර්ශකය මගින් සෞඛ්‍ය, අධ්‍යාපනය මෙන්ම ආදායම සම්බන්ධයෙන් ජාතික මට්ටමින් ළඟා කර ගත් ඉලක්කයන් ඇගයිමට ලක් කෙරේ.

එමගින් සඳහන් කර ඇති පරිදි 1990 සිට 2017 දක්වා ශ්‍රී ලංකාවේ උපත්වලදී ජීවිත අපේක්ෂාව වසර හයකින් ඉහළ යාම විශේෂත්වයකි. එමෙන්ම පාසැල් කාලය සාමාන්‍යයක් ලෙස වසර 2 දශම 5 කින් ඉහළ ගොස් ඇති අතර ඒක පුද්ගල ආදායම 1990 සිට 2017 දක්වා සියයට 215 දශම 8 කින් ඉහළ ගොස් තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment