වැරදි දැන්වත් හදා ගන්න-ජනපති කියද්දී විල්පත්තුවේ එක ගසක්වත් කැපුවේ නෑ-රිෂාඩ් කියලා


විල්පත්තු මහ කැලයේ එක බිම් අඟලකවත් වනය විනාශ කොට තමන් වැසියන් පදිංචිකරවීමට ඉඩම් ලබා නොදුන් බව කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පසුගිය 5 දා මන්නාරමේදී ජනාධිපතිවරයා ඉදිරියේදී පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ජාතික පරිසර සමුළුවත් වනරෝපා වැඩසටහනත් යන දෙකම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරමේදී ආරම්භ වූ අවස්‌ථාවේදීය.

උත්සව සභාව ආරම්භ වීමට පෙර ජනාධිපතිවරයා සමග එක්‌ව රිෂාඩ් බදියුදීන් මහතා පරිසරය සුරකින බවට වූ

ප්‍රතිඥවද කියවීය. ජනාධිපතිවරයා සමග පැළ රෝපණය කිරීමේ අවස්‌ථාවටද එක්‌විය. එහිදී ජනාධිපතිවරයා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට පවසා තිබුණේ ඉතිහාසයේ වූ වැරදි දැන් හෝ නිවැරැදි කරගන්නා ලෙසය.

විල්පත්තුවේදී විනාශ වූ ගස්‌ වෙනුවෙන් අලුතින් ගස්‌ ලක්‍ෂයක්‌ සිදුවීමේ වැඩසටහනක්‌ දියත් කරන ලෙසද ජනාධිපතිවරයා මේ වැඩසටහනේදී අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

අනතුරුව පැවැති උත්සව සභාව ඇමතූ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා කියා සිටියේ යුද්ධය හේතුවෙන් විපතට පත්ව උන්හිටි තැන් අහිමි වූ ලක්‍ෂයක පමණ මුස්‌ලිම් ජනතාව 2009 වර්ෂයේදී පුත්තලමේ සිට රැගෙන විත් ඔවුන් කලින් සිටි ගම්මානවල පදිංචි කළේ තමන් නොව නිලධාරීන් පිරිසක්‌ විසින් බවයි.

මේ සඳහා වෙනම කාර්ය සාධක බළකායක්‌ සිටි බව කී අමාත්‍යවරයා සියලු තීරණ ගන්නා ලද්දේද ජනතාවට ඉඩම් ලබාදී ඒවායෙහි ජනතාව පදිංචි කළේද එම කාර්ය සාධක බළකාය විසින් බව කියා සිටියේය.

මෙය ඉවසා ගැනීමට නොහැකි පිරිසක්‌ තමන් විල්පත්තුව කපා විනාශ කර එම ඉඩම්වල ජනතාව පදිංචි කරවන බවට චෝදනා කරන බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

ගතවූ වසර තුන පුරාම විවිධ ජනමාධ්‍ය තමන්ට චෝදනා කරමින් තමා දැඩි ලෙස විවේචනය කරන්නේද විල්පත්තුවේ සිද්ධිය උලුප්පා දක්‌වමින් වුවත් තමන් විල්පත්තුවේ එකම ගසක්‌ හෝ කපා නොමැති බව ජනාධිපතිවරයා ඉදිරියේදී මහජනතාව අමතා කළ කතාවේදී කියා සිටියේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment