පාර්ලිමේන්තුව කැඳවූ සැණින් ඡන්ද විමසීමක් ගන්න : යුරෝපා සංගමය.


ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙමින් තිබෙන දරුණු අවිනිශ්චිත තත්ත්වය විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව කැඳවූ සැණින් පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්වීම අත්‍යවශ්‍ය යැයි කොළඹ යුරෝපා සංගම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිවරයා, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව යන රටවල තානාපතිවරුන්, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරයා සහ නෝර්වේ සහ ස්විට්සර්ලන්ත යන රටවල තානාපතිවරු ප්‍රමුඛ යුරෝපා සංගම් දූත පිරිස ඒකාබද්ධ නිවේදනයක් නිකුත්කරමින් ඒ බව සඳහන් කර ඇත. 

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ යුරෝපා සංගම් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කළ තෙවැනි අවස්ථාව මෙය විය. 

කොළඹ යුරෝපා සංගම් කාර්යාලය නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. 

“යුරෝපා සංගම් තානාපතිවරයා, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව යන රටවල තානාපතිවරුන්, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරයා සහ නෝර්වේ සහ ස්විට්සර්ලන්තය යන රටවල තානාපතිවරුන් පාර්ලිමේන්තුව කැඳවන ලෙස නියෝග කරමින් නිකුත් කර ඇති ගැසට් පත්‍රය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.

වර්තමානයේදී රට මුහුණ දී තිබෙන දරුණු අවිනිශ්චිත තත්ත්ව විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව කැඳවූ පසු පාර්ලිමේන්තුවට එහි විශ්වාසය සනාථ කිරීම සඳහා ඡන්දයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බව අපේ සැළකිල්ලට ලක්ව තිබේ. තවදුරටත් එය ප්‍රමාද වීම ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ලබා තිබෙන කීර්තියට හානි කරනු ඇති අතර ආයෝජකයන් රටට පැමිණීමට ද වළක්වනු ඇත. 

ශ්‍රී ලංකාවේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ නීතියේ ආධිපත්‍යය මත තබා තිබෙන විශ්වාසය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා සියලු පාර්ශව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට ගරු කළ යුතු යැයි ද අපි විශ්වාස කරමු”.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්නැයි සහ පාර්ලිමේන්තුව කැඳවන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලමින් යුරෝපා සංගමය මීට පෙර දෙවතාවකදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නිවේදන නිකුත්  කර තිබිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment