බේරුවල මුහුදේදී හෙරොයින් සමඟ ඇල්ලු ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරුගේ ගෙදර ලක්ෂ 59ක් හා සැටලයිට් දුරකථන 2ක්

බේරුවල - බළපිටිය මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 231කට අධික තොගය ප්‍රවාහනය කළ ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරුගේ නිවෙසෙහි සඟවා තිබූ රුපියල් ලක්ෂ 50ක මුදලක් සමඟ සැටලයිට් දුරකථන දෙකක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ. මෙම මුදල
සැකකරු විසින් හෙරොයින් ජාවාරමෙන් උපයා ගනු ලැබූ මුදල් බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටින දිනයාදුර දූලීප් සමන්ත සිල්වා (44) යන මෙකී ට්‍රෝලර් යාත්‍රා හිමිකරුගේ බේරුවල, මොරගල්ල, ගොඩැල්ල ප්‍රදේශයේ පිහිටි නිවසේ පෙරේදා (12දා) දින පරික්ෂා කිරීමේදී මෙම මුදල් සහ සැටලයිට් දුරකථන දෙක සොයාගෙන ඇත. හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් මුදලින් ගත් සුපිරී නිවාස, ට්‍රෝලර් යාත්‍රා කිහිපයක් සහ තවත් දේපළ ඇතුළු මුදල් සැකකරු සතුව ඇති බවද පොලිසිය කියා සිටී. සැකකරුගේ දේපළ සම්බන්ධයෙන් ඉදිරීයේදී මුදල් විශුද්ධිකරණ පනත යටතේ කටයුතු කිරීමට නියමිත බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සැකකාර සමන්ත ද සිල්වා ඉකුත් 07 වැනි දිනය යටියන්තොට - පහළ ගුරුගොඩ ප්‍රදේශයේදී කැලණි ගඟට පැන පලා යෑමට උත්සාහ කිරීමේදී දැඩි වෙහෙසක් දරා පොලිස් නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. ඉකුත් 05 වැනි දින හෙරොයින් මත්කුඩු කිලෝ දෙසිය තිස් එකයි ග්‍රෑම් පනස් හතරක් සුදු පාට පොහොර උර එකොළහක, පැකට් දෙසිය දහහතරක අසුරා ඩිංගි බෝට්ටුවකින් ගොඩබිමට රැගෙන එමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් හා නාවික හමුදා හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමේදී අත්අඩංගුවට ගැනීමට සමත්විය.

එම පුද්ගලයන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ට්‍රෝලර් යාත්‍රාවේ ප්‍රධාන සැකකරු පිළිබඳ තොරතුරු අනාවරණය වූ පසු ඔහු අත්අඩංගුවට ගැනීමට යැමේදී ඔහු ප්‍රදේශය හැර පලාගොස් තිබිණි. පසුව දින
දෙකකට පසු යටියන්තොට බැංකුවක් අසල සිටින බවට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමේදී කැලණි ගඟට පැන පලා යෑමට උත්සාහ දැරීමේදී රුපියල් ලක්ෂ 15ක මුදලක් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීහු සමත් වූහ.

ඔහු ඊට මඳ වේලාවකට පෙර බැංකුවෙන් මුදල් ලබා ගෙන තිබූ බවට කරුණු අනාවරණය වූ බව පොලිසිය කියයි.  ඔහු විදේශ ගතවීමේ සූදානමක් පැවැතියාද යන්න ගැන සොයා බලන බව පොලිසිය කියයි. මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනා පෙරේදා (12දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

-චාමර අමරසුරිය-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment