අගවිනිසුරු හමුවීමේ ගම්මන්පිල තැත වරදී.

දැනට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගවන පාර්ලිමේන්තුව විසුරැවා හැරීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් අගවිනිසුරු නලින් පෙරේරා මුණගැසීම සඳහා පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ගත් උත්සහයක් ව්‍යර්ථ වී ඇතැයි වාර්ථා වේ.

මන්ත්‍රී උදය ගම්මන්පිල මෙම උත්සාහය ගෙන ඇත්තේ මරදානේ, ඩීන්ස් පාරේ, පාතිමා දෙව් මැදුරේ මීසම් පාලක පියනම හමුවී. උදය ගම්මන්පිල මහතා මුලින්ම ප්‍රකාශ කර ඇත්තේ තමාට දේව ආශිර්වාදය ලබා ගැනීමට පැමිණි බවය.

අගවිනිසුරු නලින් පෙරේරා ඩීන්ස් පාරේ පාතිමා දෙව් මැදුරට පැම්ණෙන බවත් ඒ නිසා එහි මීසම් පාලක හිමිනම හඳුනන බවත් දැනගැනීමෙන් පසු උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා එම උත්සහය ගෙන ඇත.

එම සාකච්ඡාවේ දී අගවිනිසුරුවරයා හමුවීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙසට උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා කරන ලද ඉල්ලීම පාතිමා දෙව් මැදුරේ මිසම් පාලක පියනම දැඩිව ප්‍රතික්‍ෂේප කර ඇති අතර ඒ අනුව සිය උත්සාහය අත්හැර දැමීමට උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාට සිදුවී ඇත.

ජනාධිපතිවරයා නීති විරෝධි ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට විරුද්ධව, අතරමැදි පෙත්සම්කරුවෙක් වශයෙන් ගම්මන්පිල මන්ත්‍රීවරයා කටයුතු කරයි. එම පෙත්සම් විභාගය සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙසද ඔහු පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පාතිමා දෙව් මැදුරේ මීසම් පාලක පියනම නිමල මරිය නිකායට අයත් පියනමක් වන අතර සාමාන්‍යයෙන් නිමල මරිය නිකායේ පියවරුන් ස්වාධීන ලෙස කටයුතු කරන අය ලෙස සැලකේ. ඔවුන් මෙම දේශපාලන අර්බුදකාරී අවස්ථාවේද කොළඔ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත්ට ප්‍රතිවිරුද්ධ මත දරමින් සිටින අය බවටත් වාර්ථා වේ. කොළඔ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත්ට බලපෑම් කිරීමට හැකියාවක් ඇත්තේ ඔහු යටතේ ඇති කොළඔ පදවි පියවරුන්ට බවද තවදුරටත් දැනගන්නට ඇත.

[ලසන්ත රුහුණගේ / අරුණ ජයවර්ධන – අනිද්දා]

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment