වෙස්වළාගත් ගේමක් දී හිරෙන් පැන්න සුනිල් ශාන්ත සැඟව සිටියේ දුව සමග

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පළා ගොස් මීමුරේ ගම්මානයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් සුනිල් ශාන්ත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මෙ වනවිට වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.
ඉතා සූක්ෂ්ම ලෙස හිරගෙදර සිටින අය උසාවියට ගෙන යන ආකාරයට සකස්කළ බන්ධනාගාර බස් රථයක් වැලිකඩ සිරගෙදරට ඇතුළු කර සුනිල්ව එහි නංවාගෙන මෙම පළායාම සිදුකර තිබූ අතර
මෙම පළායාම බන්ධනාගාර නිලධාරීන්ට අල්ලස් දී සිදු කර තිබෙන බවට මේ වනවිට සැක මතුව තිබේ. එසේ පළාගිය සුනිල් ශාන්ත අත්අඩංගුවට පත් වූයේ පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය සහ පොලිස් විශේෂ කාර්ය

බලකායේ නිලධාරීන් එක්ව කළ මෙහෙයුමකදී ය.‍
බන්ධනාගාර නිලධාරීන්ගේ සහාය ඇතිව වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරයෙන් පලාගිය සුනිල් ශාන්ත නමැති මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරු  මීමුරේ ප‍්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කොළඹ සංවිධානාත්මක අපරාධ ඒකකය මගින් පෙරේදා (11 වැනිදා) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබුණි.
මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාගේ ප්‍රධානම ගෝලයකු බව කියන සුනිල් ශාන්ත බන්ධනාගාරයෙන් පලායැමේ සැලසුම සකස්‌ කර ඇත්තේ ද මධුෂ් විසින්ම බව පසුව අනාවරණය විය.
සුනිල් ශාන්ත නමැති හෙරොයින් ජාවාරම්කරු තම දියණිය ද සමඟ මීමුරේ නිවසේ සැඟවී සිටි බව පොලිසිය පවසයි. සුනිල් ශාන්තගේ දහඅට හැවිරිදි දියණිය සහ ඥතියකු බව කියන නෝනිස්‌ නමැත්තා ද පොලිස්‌ භාරයට ගෙන ඇත.
සුනිල් ශාන්ත බන්ධනාගාරයෙන් පලාගිය පසු තම දියණිය ද කැඳවාගෙන මීමුරේ පාළු ප්‍රදේශයක පිහිටි නිවසක රහසිගත ජීවිතයක්‌ ගත කරමින් සිට ඇත. මොවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදී ඇත්තේ නෝනිස්‌ නමැත්තා විසිනි.

මෙම හෙරොයින් ජාවාරම්කරු වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පලාගොස්‌ තිබුණේ ඉකුත් නොවැම්බර් මස 17 වැනිදාය. සුනිල් ශාන්ත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට පලායෑමට උපකාර කළ බවට චෝදනා එල්ල වූ බන්ධනාගාර නිලධාරීන් අටදෙනකුගේ වැඩ තහනමට ලක්‌ කර තිබිණි.
කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටි සුනිල් ශාන්ත අධිකරණ කටයුත්තක්‌ සඳහා අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කොළඹට රැගෙනවිත් තිබුණේ ඉකුත් නොවැම්බර් 16 වැනිදාය.
අධිකරණය වෙත රැගෙන යන තෙක්‌ මොහු වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටියදී ඉතාම සූක්‌ෂ්ම ලෙස ඉන් පලායාම කළේය.

සුනිල් ශාන්තට වැලිකඩ බන්ධනාගාරයෙන් පලා යැමට උපකාර කර තිබුණේ වැඩ තහනමට ලක්‌වූ වැලිකඩ බන්ධනාගාරයේ සේවය කළ ඔහුගේ සමීපතම මිතුරකු වූ නිලධාරියකු විසින් බව පසුව හෙළි විය.
මෙම වැඩ තහනමට ලක්‌වූ බන්ධනාගාර නිලධාරියා බන්ධනාගාරයට හොර රහසේම නිල ඇඳුමින් සැරසී පැමිණ සුනිල් ශාන්ත රැගෙන ගිය බව විමර්ශනවලින් අනාවරණය වී තිබිණි.

මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාගේ ප්‍රධානම මත්ද්‍රව්‍ය අලෙවිකරුවකු බව කියන සුනිල් ශාන්ත අතුරුගිරිය ප්‍රදේශයේ සිය පාතාල බලය පතුරුවමින් ව්‍යාපාර කරගෙන ගියේය.
හෙරොයින් ජාවාරමට අමතරව ව්‍යාපාරිකයන්ගෙන් ධනවතුන්ගෙන් කප්පම් ගැනීම ද ජයටම කරගෙන ගිය සුනිල් ශාන්ත මීට වසර දෙකකට පමණ උඩදී පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයට කොටු වී තිබුණේ හොරණ ප්‍රදේශයේදීය.

රුපියල් කෝටි පහක පමණ වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක්‌ සමඟ අත්අඩංගුවට පත් වීමෙන් පසු මොහු බන්ධනාගාරගත කෙරිණි.
සුනිල් ශාන්ත බන්ධනාගාරයෙන් පලා යන්නේ මෙම හෙරොයින් සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටියදීය.

සුනිල් ශාන්ත පලායෑමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි එම්. ආර්. ලතීෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කණ්‌ඩායමක්‌ විමර්ශන ආරම්භ කළහ.

මෙම විමර්ශනය සඳහා කොළඹ සංවිධානාත්මක අපරාධ ඒකකය ද සහාය වී තිබිණි.

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පෙරේදා රාත්‍රි මීමුරේ ප්‍රදේශය වටලා කළ විමර්ශනයකදී සුනිල් ශාන්ත කොටු විය. මොහු සතුව ඇති බව කියන අයුධ කීපයක්‌ සහ හෙරොයින් තොගයක්‌ සොයා විශේෂ කාර්ය බළකාය පරීක්‌ෂණ පවත්වාගෙන යයි.

-හේමන්ත රන්දුණු-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment