රාජ්‍ය යාන්ත්‍රණයම හාන්සියි : ලබන වසරට මුදල් නිකුත් කළ හැකි ආකාරය මුදල් අමාත්‍යාංශය හෙළිකරයි.


2019 වසරට අදාළව විසර්ජන පනත් කෙටුම්පතක් සම්මත කරනොගතහොත් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ඇතුළු රාජ්‍ය වියදම් පමණක් නොව ජනාධිපති සිරිසේනටද හාමතේ ඉන්න සිදුවන තත්ත්වයක් නිර්මාණය වේ.

ඒ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ප්‍රකාරව රාජ්‍ය මුල්‍ය සම්බන්ධ සියළු වගකීම් පාර්ලිමේන්තුව සතුවන නිසා පමණක් නොව පාර්ලිමේන්තුව විසුරවීමක් සිදුව නොමැති නිසා  මාස තුනක කාලයක් සඳහා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ගෙන වියදම් කිරීමට ජනාධිපතිට තිබෙන බලය අහිමිවන නිසාය.

ඒ බව ව්‍යවස්ථාවේ ඉතා පැහැදිළිව සඳහන් කර ඇත.




එසේම 150 ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට ඒකාබද්ධ අරමුදල සතු මුදල් නිකුත්කළ හැකියාව ඇත්තේ මුදල් විෂය භාර අමාත්‍යවරයාගේ අත්සන ඇති බලපත්‍රයක් හරහා පමණය.  ඒ හැර ඒකාබද්ධ අරමුදලේ මුදල් ගැනීම නීති විරෝධී මෙන්ම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්ද වෙයි.



කෙසේවුවත් මාස තුනක කාලයක් සඳහා ඒකාබද්ධ අරමුදලේ මුදල් ජනාධිපතිට වියදම් කිරීමට හැකියාව තිබෙන ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ ඇත. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 150 (3) (4) තුළ එම ප්‍රතිපාදන ඇතත් ඒ සඳහා ද අවස්ථාව තිබෙන්නේ පාර්ලිමේන්තුව විසුරවා ඇති අවස්ථාවක පමණය. 





මේ වන විට පාර්ලිමේන්තුව විසුරවා හැරීමක් සිදුව නොමැති අතර එබැවින් ව්‍යවස්ථාව දරුණු ලෙස උල්ලංඝනය කිරීමකින් මිස ජනාධිපතිටද 2019 වසරේ කිසිඳු මුදලක් වියදම් කිරීමට අවස්ථාව හිමි නොවේ.

මුදල් නිකුත් කළ හැකි ආකාරය මෙන්න :  මුදල් අමාත්‍යාංශය

ඉදිරි වසර සඳහා පහත ආකාරයන් යටතේ මුදල් නිකුත් කිරීමට හැකියාව පවතින බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම්. එස්. ආර්. ආටිගල මහතා පැවසුවේ, නීතිමය ප්‍රතිපාදනවලට යටත්ව මාස තුනක් සඳහා මුදල් නිකුත් කිරීමට හැකියාව පවතින බවය.

ආයතන මට්ටමින් එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම සඳහා එලෙස මුදල් වෙන් කිරීමට කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය ක්‍රියාත්මක වන්නේ නම් වියදම් සඳහා මුදල් නිකුත් කිරීමට ජනාධිපතිමගින් අතුරු සම්මත ගිණුමක් යටතේ අවස්ථාව හිමිවන බවත් ඒ අනුව, එම අතුරු සම්මත ගිණුම මාස 3 ක කාලයකට බලපැවැත්වෙනු ඇති බවත් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා කියා සිටියි.

එසේ නොවී මේ වන විට කැබිනට් අනුමැතිය හිමි ව ඇති අතුරු සම්මත ගිණුම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය හිමි වන්නේ නම් මාස 4ක කාලයක් සඳහා එය වලංගු වන බව ද ඔහු පැවසීය.

එස්. ආර්. ආටිගල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති ඉදිරියට කරගෙන යාමට මුදල් ලබාදීමට කිසිදු බාධාවක් නොමැති බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment