රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප


රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේ ය.

මහේස්ත්‍රාත්වරයා මෙහිදී තරයේ අවවාද කර සිටියේ, විමර්ශනවලට හෝ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට හෙළි වුවහොත් ඇප අවලංග කර නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාරගත කරන බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවන දිනකදී
එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිට ඉදිරි විමර්ශන සඳහා අවශ්‍ය ප්‍රකාශ ලබා දෙන ලෙසට ද සැකකරුට එහිදී මහෙස්ත්‍රාත්වරයා අවවාද කළේ ය.

මේ අතර පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන ලුතිනන් කමාන්ඩර් ලක්සිරි ගලගමගේ නමැත්තාට රවීන්ද්‍ර විජේගුනරත්න මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීන් පසුගිය 25 වන දා නාවික හමුදා මූලස්ථානය තුළදී ගිනි අවියක් පෙන්වා මරණීය තර්ජනය කිරීම හා පැහැර ගැනීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය විමර්ශන සිදු කර ඇත්තේ , ඉතාමත් අගතිකාමි ලෙස බව පෙනී යන බවද එහිදී පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා එම විමර්ශන කටයුතු කොටුව පොලීසියෙන් ඉවත් කිරීමට ද නියෝග කළේ ය.

එම විමර්ශන සඳහා වෙනත් නිලධාරීයෙකු නම් කරනා ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා එහිදි බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෙග කළේ ය.

පෙර කී තර්ජනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සැකකරුවෙකු ලෙස නම් කිරීමට මෙතෙක් සිදු කළ විමර්ශන අනුව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද කළ කරුණු දැක්වීම ද සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ ය.

තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ නාවික හමුදා නිලධාරියෙකුට අධිකරණයට මඟහැර සිටීමට ආධාර අනුබල දීමේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහු අත්අඩංගුවට ගනු ලැබූමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment