මත්ද්‍රව්‍ය වැටලීම් ප්‍රධානි නියෝමාල් රංගජීවට මාරුවක්-ආරක්ෂාවත් ඉවත් කරලා

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රාජකාරි කළ එහි වැටලීම් ප්‍රධානියාව සිටි පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානයට මාරු කර යවා තිබේ.

 සේවා අවශ්‍යතා මත සඳහන් කරමින් පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඊයේ (20 දා) මෙම ස්‌ථාන මාරුව කර ඇතැයි පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

 මෙම ස්‌ථාන මාරුවත් සමග, පිළියන්දල ප්‍රදේශයේදී මත්කුඩු ජාවාරම්කරුවන්ගේ වෙඩි ප්‍රහාරයකට
ගොදුරුවී මාරාන්තික තුවාල ලබා සුවය ලද පොලිස්‌ පරීක්‍ෂක රංගජීව මහතාට පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් මෙතෙක්‌ ලබාදුන් ආරක්‍ෂාව ඉවත් කිරීමටද පියවර ගෙන ඇත.

 දක්‍ෂ නිලධාරියකු වූ පොලිස්‌ පරීක්‍ෂක රංගජීව මහතා මත්කුඩු ජාවාරමට එරෙහිව පසුගිය කාලයේ සිදුකළ මහා පරිමාණ මත්කුඩු වැටලීම් හේතුවෙන් ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහි මහාධිකරණ නඩු හැටක පමණ ප්‍රධාන සාක්‍ෂිකරු බවටද පත්ව සිටී.

 එසේ තිබියදී ඔහුගේ ආරක්‍ෂාව ඉවත් කිරීම නිසා සාක්‍ෂිකරුවකු ලෙස ඉදිරියේදී අධිකරණ වෙත පැමිණීමේදී රංගජීව මහතාගේ ජීවිතයට දැඩි තර්ජන එල්ල වන තත්වයක්‌ද ඇතිවී තිබේ.

 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ පරීක්‍ෂක නියොමාල් රංගජීව මහතා පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් ස්‌ථාන මාරු කළ බවට අසත්‍ය ප්‍රචාරයක්‌ මේ වන විට පොලිස්‌ මූලස්‌ථානය පුරා පැතිර ඇතැයිද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. රංගජීව මහතා පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් මාරුකර යවන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවී සෙනවිරත්න මහතා විසින් පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ලිඛිත ඉල්ලීමක්‌ කළ බව ඉකුත් සතියේ වාර්තා විය.

-සමන් ගමගේ-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment