පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තනතුර ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයාගෙන් ඉවත්කර මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාට ලබාදීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ද්‍රවිඩ ජාතික සන්ධානය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට සූදානම් වන බව වාර්තා වෙයි.
අධිකරණ වර්ෂ අවසාන නිවාඩුව අවසන්ව නැවත කටයුතු ආරම්භ කිරීමත් සමඟ මෙම නඩු පැවරීම සිදුකරන බවද ද්‍රවිඩ සන්ධාන ආරංචිමාර්ග සඳහන් කරයි.
එහිදී මහින්ද රාජපක්ෂ පොහොට්ටුවේ පක්ෂ සාමාජිකත්වය ගෙන ඇති බැවින් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසිව ඇති බව, ජනාධිපති සිරිසේන එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයා වශයෙන් කටයුතු කරන අතර එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ අමාත්‍යධුර දැරීම සහ මහින්ද රාජපක්ෂ පොහොට්ටු පක්ෂයේ නොවී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම් ඔහුට විපක්ෂ නායක ධුරය දැරිය නොහැකි බව ඇතුළු කරුණු කිහිපයක් නඩු නිමිති ලෙස ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.
ඒ මත මහින්ද රාජපක්ෂ විපක්ෂනායක වීම වලකා අතුරු තහනම් නියෝගයකින් වාරණය කරන ලෙසත් විපක්ෂ නායක ධුරය සඳහා නීත්‍යානුකුල හිමිකම ආර්. සම්බන්ධන් වෙත ඇති බවට නම් කරන ලෙසත් ඉල්ලීම මේ නඩුවේදී අපේක්ෂිත බවද දැනගන්නට ඇත.
සිරිසේනට ජන්දය දුන්නේ මහින්ද අගමැති කරන්න නොවේ
මේ අතර දෙමළ ජනතාව 2010 වසරේදී සරත් ෆොන්සේකා ට සහ 2015 වසරේදී මෛත්‍රීපාල සිරිසේනටත් ඡන්දය ප්‍රකාශ කළේ ඔවුන් ගැන ඇති ආදරයක් නිසා නොව මහින්ද රාජපක්ෂ ව ඉවත් කිරීම සඳහා බවත් එසේ ඉවත් කළ මහින්ද රාජපක්ෂ යළි අගමැති කිරීම දෙමළ ජනතාව කිසිසේත් ම පිළිගන්නේ නැති බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (26) මඩකළපුවේදී පැවති ජෝෂප් පරරාජසිංහම් මහතාගේ 13 වන ගුණානුස්මරණ උත්සවයට එක් වෙමින්ය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් මහතා ඝාතනය කෙරුණේ 2005 දෙසැම්බර් 25 වනදා මඩකලපුවේ පැවති නත්තල් දේව මෙහෙයකට සහභාගී වෙමින් සිටියදී වන අතර ඒ සමයේ ඊට අදාළ විධිමත් පරීක්ෂණයක් සිදු කෙරුණේ නැත.
නමුත් යහපාලන සමයේ ඊට අදාළව සිදුකළ විමර්ශන කටයුතුවලදී හෙළිදරව් වී තිබුණේ මෙම ඝාතනය නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ මෙහෙයවීමෙන් සිදු කෙරී ඇති බවයි. පිල්ලෙයාන්ගේ නායකයා වන කරුණා අම්මාන් පසුකලෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති තනතුරකට ද පත්වූ අතර අදටත් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් දේශපාලන කටයුතුවල නියැළී සිටී.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment