පුදුකුඩිඉරිප්පු ප්‍රධාන පිවිසුම් මාර්ගය කඩිනමින් පිළිසකර කිරීමට ඇමති චම්පිකගෙන් උපදෙස්.


පසුගිය දා ගංවතුර තත්වයන්ගෙන් ආපදාවට ලක්වූ කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවල පාසල් ළමුන් 2000 ක් වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දීම ඊයේ(03) කිලිනොච්චියේදී සහ මුලතිව් වලදී ඇමති චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතාගේ උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සේවක සුභ සාධක සංගම් ඒකාබද්ධව මෙම වැඩපිළිවෙල දියත් කෙරිණ.  කිලිනොච්චියේ ආපදාව ලක්වූ පවුල්වල ළමුන් 750 ක් වෙනුවෙන් කිලිනොච්චි කණ්ඩාවලි මහා විද්‍යාලයේදී සිදු කෙරිණ. එමෙන්ම මුලතිව් පුදුකුඩිඉරිප්පු භාරතී පාසලේ අපදා තත්වයන්ගෙන් හානියට පත් වූ නිවාසවල ළමුන් 850 දෙනෙකු සහ අවට පාසල්වල ළමුන් 400 ක් වෙනුවෙන් අත්‍යාවශ්‍ය පාසල් උපකරණ බෙදාදීමද අමාත්‍ය චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ඉන් අනතුරුව කිලිනොච්චිය සහ මුලතිව් පුදුකුඩිඉරිප්පු අවට ආපදාවෙන් හානියට පත් ගම්මාන තුනක් නිරීක්‍ෂණය කිරීමට ද අමාත්‍යතුමා ඇතුලු නිලධාරීන් එක් විය. එහිදී කණ්ඩාවලි පාසලට පුස්තකාලයක් සහ ගම්මානවලට ප්‍රවේශවන මාර්ගය සංවර්ධනය කිරීම සඳහා සුඛිත පුරවර ව්‍යාපෘතිය යටතේ ප්‍රතිපාදන ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා නියෝග කළේය. පුදුකුඩිඉරිප්පු ගම්මානයේ ප්‍රධාන පිවිසුම් මාර්ගය සම්පූර්ණයෙන් පිළිසකර කිරීමේ උපදෙස අමාත්‍ය චම්පික රණවක විසින් නාගරික සංවර්ධන අධිකාරියේ උතුරු පළාත් අධ්‍යක්‍ෂවරයා වෙත ලබාදෙන ලදි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, අපේ ලෝකයේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයට සිදු වී තිබෙන හානිය නිසා උණුසුම වැඩිවෙලා තිබෙනවා. ඒ නිසා අපේ දූලා පුතාලට මේ ගංවතුර, නියං ප්‍රශ්වලට ඉදිරියේදී තවත් මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ නිසා අපි හැමෝම අධිෂ්ඨාන කරගත යුතුයි පරිසරය ආරක්‍ෂා කර ගැනීමට. අඩුවෙන් තෙල්, ගල් අඟුරු ගෑස් පාවිච්චි කළ යුතුයි. ඒවගේම ගහකොළ රැකගත යුතුයි.

ඒ වගේම අපේ දූලා පුතාලාට මේ රටේ වාසනාවක් තිබෙනවා. ඒ නිදහස් අධ්‍යාපනය. මේ පාසල් ගේට්ටුවෙන් අම්මලා තාත්තලා දුදරුවන්ව ඇතුල් කරන කොට ඔයාලා දුප්පත් ද - පෝසත්ද ජාති - ආගම්, කුල - මල මොනවද කියලා අහන්නේ නැහැ. සමහර රටවල එහෙම නැහැ. ඒ නිසා අපට ලැබී තිබෙන මේ වාසනාවෙන් උපරිම ප්‍රයෝජන අපි ලබාගත යුතුයි. ඒ නිසා අපි සුභ ප්‍රාර්ථනා කරනවා මේ රටට වැඩදායක වෛද්‍යවරු, ඉංජිනේරුවරු, ගණකාධිකාරවරු, ගුරුවරු ඇතුලු හොඳ වැඩකරන ජනතාවක් මේ රටට බිහිවෙන්න කියලා. අද අපේ නාගරික සංවර්ධන අධිකාරියේ සහ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ  සේවකයින් 3,000 ක්  එකතු කළ මේ පරිත්‍යාගයෙන් ඔබට ප්‍රයෝජනයක් අත්වෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා යයි පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment