ගෝඨාට එරෙහි නඩුව යළි කැඳවයි.


වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළේ යැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන 11 වැනිදා යළි කැඳවීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ඊයේ (03දා) නියම කළේය.

මෙම නඩුවේ විත්ති පාර්ශ්වයට ලබාදිය යුතු සියලුම ලේඛන ලබා දී ඇත්ද යන්න සොයා බැලීම සඳහා මෙම නඩුව කැඳවන ලද අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය එලෙස  නියම කළේය.

ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඬුල්ලට මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීහු ඇතුළත් වෙති.
ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ දෙවැනි නඩුව ලෙස නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ පවරන ලද මෙම නඩුවේ විත්තිකරුවන් වන හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියන ආරච්චිගේ ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී භද්‍රා උදුලාවතී කමලදාස, සුධම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, එම්.ඩී. මහින්ද සාලිය සහ එම්.ඒ. ශ්‍රීමති මල්ලිකා කුමාරි සේනාධීර යන හත්දෙනාගෙන් අධිකරණයේ අවසර මත විදේශගත වී සිටින හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හැර සෙසු විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

2013 සැප්තැම්බර් මස 03 වැනිදාත් 2015 පෙබරවාරි මස 02 වැනිදාත් අතර කාලය තුළ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් ලක්‍ෂ 339ක් වැයකොට වීරකැටිය, මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීම සඳහා කුමන්ත්‍රණය කළ බවට සියලු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා චෝදනා නඟා ඇති අතර, එම රුපියල් ලක්‍ෂ 339 වැය කොට වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමෙන් එම මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් වූ 02 සිට 06 දක්වා වන විත්තිකරුවන්ට එරෙහිවද, ඒ සඳහා ආධාර අනුබල දුන් බවට 01 සහ 07 වැනි විත්තිකරුවන්ට එරෙහිවද නීතිපතිවරයා චෝදනා නඟා ඇත.

දණ්ඩ නීති සංග්‍රහය යටතේ සහ පොදු දේපළ විෂයයෙහිලා සිදුකරනු ලබන වැරදි පිළිබඳ පනත යටතේ විත්තිකරුවන් මෙම වැරදි සිදුකොට ඇති බවද නීතිපතිවරයා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට දැනුම් දී ඇත.
මෙම නඩුව ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය අමතමින් විත්තිකරුවන්ට භාරදිය යුතු සියලුම ලේඛන විත්ති පාර්ශ්වයට භාර දී ඇතැයි දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විත්ති පාර්ශ්වයට ලබාදිය යුතු සියලුම ලේඛන ලබා දී ඇත්ද යන්න සොයා බැලීමට මෙම නඩුව ලබන 11 වැනිදා යළි කැඳවීමට නියම කෙරිණි.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ වසන්ත පෙරේරා සහ රජයේ නීතිඥ උදාර කරුණාරත්න යන මහත්වරුන් සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා පෙනී සිටියේය.

පළමුවැනි විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සමග ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාද, දෙවැනි විත්තිකරු වෙනුවෙන් ලලිත් අබේසිරිවර්ධන මහතා සමග ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතාද, තුන්වැනි විත්තිකරු වෙනුවෙන් නීතිඥවරුන් වන ඩිලන් ද සිල්වා සහ සපුමල් බණ්ඩාර යන මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාද, සිවුවැනි විත්තිකරු වෙනුවෙන් නලින්ද ඉන්දතිස්ස මහතා සමග ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතාද, පස්වැනි සහ හයවැනි විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ සෙනරත් ජයසුන්දර මහතාද, හත්වැනි විත්තිකරු වෙනුවෙන් නීතිඥ නිරෝෂණ සිරිවර්ධන මහතා සමග නීතිඥ චමින්ද අතුකෝරල මහතාද පෙනී සිටියහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment