විශේෂ කාර්ය බළකා නිලධාරීහු විදෙස් යුවළකගේ නැතිවූ මුදල් පසුම්බිය සොයා දෙති

විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආසන්නයේ වැටී තිබූ එංගලන්ත ජාතික යුවළකට අයත් මුදල් පසුම්බියක් ඉකුත්දා අනුරාධපුර උළුක්කුලම පිහිටි පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පිරිසකට පෙරේදා
(14දා) සවස හමුවී තිබූ අතර එහි හිමිකරුවන් වූ විදේශීය යුවළ සොයා වහාම මුදල් පසුම්බිය ඔවුන් අතට පත් කිරීමට නිලධාරීන් පිරිස කටයුතු කර තිබිණි.

අනුරාධපුර, උළුක්කුලම පිහිටි පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ සේවයේ නියුතු කඳවුරු අණදෙන නිලධාරියා ඇතුළු
පිරිස විල්පත්තුව කුකුළුකටුව රක්ෂිත ප්‍රදේශයේ වැටලීමකට සහභාගි වී නැවතත් කඳවුර වෙත පැමිණෙමින් තිබියදී බිම වැටී තිබූ මුදල් සහිත පසුම්බිය හමුවී තිබූ අතර එම මුදල් පසුම්බිය විදේශිකයකු සතු පසුම්බියක් බව ඔවුන් තහවුරු කරගෙන තිබිණි. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ භාරකරු සමඟ එක්වී අංක 24 රැඩිකල් රයිඩ් ෆින්චැම් ස්ටේජ් වොකිම්හැම් එංගලන්තයේ පදිංචි 34 හැවිරිදි ජොනතන් ඩේවිඩ් නමැත්තාගේ බව තහවුරු කරගෙන තිබිණි.

ඒ අනුව ජොනතන් ඩේවිඩ් හා ඔහුගේ බිරියට මුදල් පසුම්බියේ තිබූ ශ්‍රී ලංකා රුපියල් 21,666ක් ණය කාඩ්පත් හතරක් හා රියැදුරු බලපත්‍රය විල්පත්තුව ජාතික වනෝද්‍යානයේදී භාරදීමට විශේෂ කාර්ය බළකා නිලධාරීන් සිදුකර තිබිණි.ජොනතන් ඩේවිඩ් මහතා හා ඔහුගේ බිරිය විල්පත්තුව ජාතික වනෝද්‍යානය නැරැඹීම සඳහා පැමිණි අවස්ථාවේ මෙම අකරතැබ්බයට මුහුණපා තිබෙන අතර මුදල් පසුම්බිය අස්ථාන ගතවීමෙන් දැඩි අපහසුතාවකට පත්වී සිටි යුවළ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ ක්‍රියාව මහත් සේ අගය කර තිබිණි.

මුදල් පසුම්බිය නැතිවීම නිසා මම හුඟක් අසරණ වුණා. නමුත් පොලිස් නිලධාරීන් සිය නිහතමානී බව ඔප්පු කරමින් කඩිනමින් පසුම්බිය මා අතට පත්කිරීමට කටයුතු කළා. මම සියලුම නිලධාරීන්ට මේ අවස්ථාවේ ස්තුතිය පළ කරනවා යනුවෙන් ජොනතන් ඩේවිඩ් මහතා පැවැසුවේය.

අනුරාධපුර, උළුක්කුලම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක එච්.එම්.කේ.එම්. විජේරත්න, පොලිස් පරීක්ෂක ඩී.එම්. ජයලත්, උප පොලිස් පරීක්ෂකවරුන් වන යූ.එස්. උදයකුමාර, පී.බී.එල්. සිල්වා යන නිලධාරීන් ඇතුළු පිරිසක් මෙහෙයුමට සහභාගි වූ අවස්ථාවේ මුදල් පසුම්බිය ඔවුන්ට හමුවී තිබිණි.

මහේෂ් විජේසූරිය

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment