විදෙස්‌ගත වීමේ යෝග ඇතැයි පවසමින් නවසීලන්තය පෙන්වා මුදල් ගැරූ 69 හැවිරිදි සාස්‌තර ඇන්ටි


 සාස්‌තර ඇසීමට පැමිණෙ න පුද්ගලයන්ට විදෙස්‌ගත වීමේ යෝග ඇතැයි පවසමින් පුද්ගලයන් 40 කට වැඩි ප්‍රමාණයකින් නවසීලන්තයට යෑවීමට යෑයි පවසා මුදල් වංචා කළ සාස්‌තර බලන කාන්තාවක්‌ පානදුර නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් පෙරේදා (06 දා) අත්අඩංගුවට ගෙන ඇත.


 අත්අඩංගුවට ගත් 69 හැවිරිදි කාන්තාව හොරණ, පොකුණුවිට මීමන ප්‍රේමතිලක මාවතේ පදිංචිකාරියක වන අතර පොලිස්‌ අත්අඩංගුවට පත්වන අවස්‌ථාවේ පුද්ගලයන් 40 කට අයත් විදේශ ගමන් බලපත්‍ර 40 ක්‌ සහ රුපියල් දෙලක්‍ෂ අනූ පන්දහසක්‌ ඇය ළඟ තිබී හමු වී ඇත.

 මෙම කාන්තාව ඇයගෙන් සාස්‌තර බැලීමට පැමිණෙන පුද්ගලයන්ට සාස්‌තර කියන ගමන් විදෙස්‌ ගත වීමේ යෝගයක්‌ ඇතැයි පවසා අවශ්‍ය නම් නවසීලන්තයට යෑවීමට හැකි යෑයි පවසා තිබේ. ඒ අනුව විවිධ තරාතිරම්වල පුද්ගලයන්ගෙන් රුපියල් ලක්‍ෂ දෙක, තුන වශයෙන් මුදල් ලබාගෙන ඇත.

 විදෙස්‌ගත කරන බවට පවසා තමන්ට මුදල් වංචා කළ බවට පානදුර කොට්‌ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයට ලද පැමිණිල්ලක්‌ මත එම ඒකකයේ නිලධාරීන් විමර්ශන ආරම්භ කර සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

 පානදුර, ගම්පහ, පේරාදෙණිය, මහරගම ඇතුළු ප්‍රදේශ රැසක පුද්ගලයන්ගෙන් ඇය මුදල් වංචාකර ඇති බව උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය.
 පානදුර පොලිස් නිලධාරීහු කණ්‌ඩායමක්‌ සැකකාරිය අත්අඩංගුවට ගත්හ
ඇය ඊයේ (07 දා) හොරණ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
 චමින්ද සිල්වා සහ කළුතර - විජයසිරි විද්‍යාසේකර
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment