කෝටි 500 දියමන්තිය තක්සේරුව නවතා මහරගම පොලිසිය බාරයට


පසුගියදා පොලිසිය හසුකරගත් මකඳුරේ මදුෂ් පැහැරගෙන ගිය බවට හෙළිව තිබූ  දියමන්තියේ හිමිකරුගේ දැඩි විරෝධය හේතුවෙන් එහි වෙළෙඳපොළ වටිනාකම තක්සේරු කිරීම නතර කිරීමට සිදුවූ බව පෑලියගොඩ කොට්ඨාස අපරාධ මෙහෙයුම් අංශය පවසයි.



 මෙම දියමන්තියේ වටිනාකම තමන් තක්සේරු වාර්තාවකින් ලබාගෙන ඇති බව පවසන එහි හිමිකරු එය නැවත තක්සේරු කිරීම අවශ්‍ය නොවන බවද පවසයි.

 දියමන්තිය තක්සේරු කිරීමට එය පළුදු කළ යුතු බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීහු පෙරේදා ප‍්‍රකාශ කළහ. එහෙත් දියමන්තියේ හිමිකරු වන මැණික් ව්‍යාපාරිකයා එය පළුදු කිරීමට ඉඩදිය නොහැකි බව පවසා ඇත.

 දියමන්තිය පළුදු කිරීමෙන් එහි තක්සේරු වටිනාකමට හානි විය හැකි බව ද මැණික් ව්‍යාපාරිකයා ප‍්‍රකාශ කර ඇත.

 දියමන්තියේ වටිනාකම තක්සේරු කිරීම සඳහා එය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා අංශය වෙත යොමු කිරීමට පොලිසිය සැලසුම් කර ගෙන සිටියද එහි හිමිකරු ඊට විරෝධය පළ කර තිබේ.

 මෙම දියමන්තිය සම්බන්ධයෙන් අධිකරණ කටයුතු කරගෙන යෑම සඳහා එය මහරගම පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන බවද පෑලියගොඩ පොලිසිය පවසයි.

 දියමන්තිය තක්සේරු කිරීම හෝ එහි හිමිකාරත්වය ලබාදීම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට එය අධිකරණය වෙත යොමු කිරීමට කටයුතු කරන බවද පොලිසිය කියා සිටියි.

 මෙම දියමන්තිය එහි හිමිකරු විසින් ශී‍්‍ර ලංකාවට ගෙනැවිත් තිබුණේ 1994 වර්ෂයේදීය. සෞදි අරාබියේ රැකියාවක් කරමින් සිටින කාලසීමාවේදී එය හිමිකරුට හමුවී ඇත්තේ පස්ගොඩක තිබියදීය.

සෞදි අරාබියේ ආපන ශාලාවක මල් පාත්තිවලට දැමීමට දකුණු අපි‍්‍රකාවෙන් ගෙන ආ පස් ගොඩක තිබී මෙම දියමන්තිය තමාට හමුවූ බව හිමිකරු පොලිසියට ප‍්‍රකාශ කර තිබිණි.

 මාකඳුරේ මධුෂ් මෙහෙයවූ කොල්ල කණ්ඩායමක් විසින් දියමන්තිය කොල්ලකනු ලැබුවේ ඉකුත් වසරේ නොවැම්බර් 05 වැනිදාය.

 මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කළ පෑලියගොඩ කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකය මගින් කැලූම් ඉන්දික නමැති පාතාල නායකයාගේ පානදුර කෙසෙල්වත්තේ පිහිටි නිවසක සඟවා තිබියදී දියමන්තිය සොයා ගනු ලැබීය.

හේමන්ත රන්දුණු

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment