“ශ්‍රී ලංකාව ඉදිරියේ දී අවයව බද්ධ කිරීමේ කේන්ද්‍රස්ථානයක්” සුව ඇමැති කියයි.


ලබන මස ජාතික රෝහලෙන් ආරම්භ කිරීමට නියමිත ත්‍රිමාණ තාක්ෂණයෙන් ප්‍රතිකාර කිරීම තුලින් කෘත්‍රීම පාද නිර්මාණය සහ අනතුරකට ලක්වූවන්ට කඩිනමින් ප්‍රතිකාර කිරීම පළමු අදියරේ දී සිදු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙහිදී ත්‍රිමාණ තාක්ෂණයෙන් ප්‍රතිකාර කිරිම සදහා අවශ්‍ය උපකරණ විදේශීය රටවලින් ගෙන්වීමට නියමිත අතර, එවැනි උපකරණ ශ්‍රී ලංකාවේ දී නිෂ්පාදනය කිරිමට ද නියමිතව ඇත. හදිසි අනතුරකට ලක් වූ රෝගියෙකුගේ කකුල හෝ හිස තුවාල වී ඇත්නම් එය පෙර පැවැති ආකාරයටම නිර්මාණය කිරිමට ත්‍රිමාණ තාක්ෂණයට හැකියාව ඇත. එවැනි තාක්ෂණයක් භාවිත කිරිම ප්‍රතිකාර කිරීමේ දී වෛද්‍යවරුන්ට පහසුවක් වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ “මෙඩිකෙයා 2019” ජාතික සුව සේවා ප්‍රදර්ශණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

10 වැනි වරටත් සංවිධානය කරන “මෙඩිකෙයා 2019 ජාතික සුවසේවා ප්‍රදර්ශණය” කොළඹ බණ්ඩාරනායන අනුස්මරණ සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශණ ශාලාවේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් පසුගියදා විවෘත කරන ලදි. මෙම ප්‍රදර්ශණය තෙදිනක් පුරා පැවැති අතර, ජාත්‍යන්තර හා දේශීය වෛද්‍ය කුටි 220 කින්  සමන්විත විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “වෛද්‍ය ක්ෂේත්‍රය තුල නව සොයාගැනීම් දක්නට ලැබෙන අතර, මෙවැනි ප්‍රදර්ශණ මගින් එම සොයා ගැනීම් ජනතාවට විවර කිරීම මම අගය කරනවා. නව තාක්ෂණය තුලින් වූ සෞඛ්‍ය සේවාවක් ශ්‍රී ලාංකිකයින්ට ලබාදීම මගේ අරමුණයි. ඒ අනුව මිලියන 21 ක් වූ ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත ලබාදීම ආරම්භ කළ අතර, 2016 වසරේ සිට දිවයින පුරා සියලුම රෝහල් පරිගණක ගත කිරීම ද ආරම්භ කර තිබෙනවා. හදිසි ආපදා තත්ත්වයක දී ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් රුධීරය ප්‍රවාහනය කිරීමේ වැඩපිළිවෙළක් ද ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිතයි. නිදහස් සෞඛ්‍ය සේවාවක් මගින් සියලු සේවාවන් නොමිලේ ලබාදීමේ දී එය ඉතා වැදගත් වන්නේ දිළිදු ජනතාවටයි. වෙනත් රටවල නවීන තාක්ෂණය භාවිත කරන්නේ පෞද්ගලික අංශය මගින්. නමුත් අපේ රටේ රාජ්‍ය අංශය නවීන තාක්ෂණය භාවිත කරනවා. ඉන්දියාවට වඩා හොද විශේෂඥ වෛද්‍යවරුන් ශ්‍රී ලංකාවේ සිටින අතර, ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදිය යුතුයි. එම වෛද්‍යවරුන් මේ වන විට සියලුම අවයව බද්ධ කිරීම් ආරම්භ කර ඇති අතර, ඉදිරියේ දී ශ්‍රී ලංකාව අවයව බද්ධ කිරීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. මැතිවරණ කාල වල දී ජනතාව වෙනත් දේවල් ගැන කථා කළත් සෞඛ්‍ය සේවාව පිළිබදව කරුණු අවබෝධ කර ගැනීමට මෙම ප්‍රදර්ශණය ඉතාම වැදගත්. ජනතාවට අවශ්‍ය පනිවුඩය මෙම ප්‍රදර්ශණයෙන් ලැබෙනවා. දිවයිනේ විවිධ ප්‍රදේශවල වෛද්‍ය ප්‍රදර්ශණ තවත් පැවැත්වුන ද මෙඩිකෙයා ප්‍රදර්ශණයෙන් ලැබෙන පණිවුඩය ඉතා වැදගත්. නවීන තාක්ෂණයෙන් යුත් සෞඛ්‍ය සේවා මෙම ප්‍රදර්ශණ කුටි මගින් ජනතාවට පෙන්වා දෙනවා.”

මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අර්ජුන් සිං සිදූ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත රාසියා ෆෙන්සේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අමල් හර්ෂ ද සිල්වා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූම් යන මහත්ම මහත්මීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment