ඇල්පිටියේදී පිස්සෙක් බසයක් පැහැර ගනී

මාපලගම සිට ඇල්පිටිය හරහා මීගමුව දක්වා දිවෙන ලංගම බස් රථයක් ඇල්පිටිය බස් නැවතුම්පොළේ නතර කර තිබියදී නගරයේ සිටි මානසික රෝගියකු බසයේ සිටි මගීන්ද සමඟ බස් රථය රැගෙන යෑමේ සිද්ධියක් ඇල්පිටිය පොලිසියෙන් වාර්තා විය.
ඊයේ (13දා) සවස 4ට පමණ මෙම බස් රථය  එහි සිටි මගීන් සමඟ සුපුරුදු පරිදි ඇල්පිටිය බස් නැවතුම්පොළේ නතර කර තබා එහි රියැදුරු සහ කොන්‍ෙදාස්තර තේ බීමට අසල අවන්හලකට ගොස් ඇත.

එම අවස්ථාවේ බසයට ගොඩවූ තරුණයකු බස් රථය පණගන්වාගෙන බස් මගීන්ද සමඟ බස් රථය
නැවතුම්පොළෙන් බැහැරට ගෙන ඇල්පිටිය - අලුත්ගම ප්‍රධාන මාර්ගය ඔස්සේ බසය ධාවනය කරගෙන ගොස් තිබේ. බස් රථය රැගෙන යද්දී බස් නැවතුමේ නතර කර තිබූ ගාල්ල බලා යෑමට නියමිත බස් රථයකද ගැටීමෙන් එම බස් රථයටද අලාභ හානි සිදුවූ බව ඇසින් දුටුවෝ පවසති.

ඇල්පිටිය නගරයේ සිට කිලෝමීටර් භාගයක පමණ දුරට බස් රථය රැගෙන එද්දී මාර්ගයේ වාහන තදබදය නිසා එය තරුණ සේවා සභාව ඉදිරිපිට මඳක් නතර කර ඇති අතර, ඒ මොහොතේ ඊට ගොඩවූ රියැදුරකු විසින් බස් රථය මුදාගෙන තිබේ. ඒ වන විටත් එහි සිටි මගීන් බියට පත්ව සිට ඇත.

පසුව එම තරුණයා ඇල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මානසික රෝගියකු බවත් නියාගම ගෝනලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, දැනට කරන ලද පරීක්ෂණවලදී පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඇල්පිටිය - ගයාන් ගුණසේකර




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment