ගැටුමෙන් පසු කල්පිටිය පොලිස් ස්ථානාධිපතිට මාරුවක්

ගැටුමෙන් පසු කල්පිටිය පොලිස් ස්ථානාධිපතිට මාරුවක්

ඊයේ (21)කල්පිටිය - කුරිඤ්ඤන්පිටිය ප්‍රදේශයේදී ධීවරයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමෙන් අනතුරුව කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

කල්පිටිය පොලිසියේ ප්‍රකාශකයෙකු කියාසිටියේ ඊයේ ඇති වූ උණුසුම් තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති නමුත් තවදුරටත් එම ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා ඇති බවයි.

ධීවරයින් පිරිසක් පසුගිය 19 වැනිදා කල්පිටිය - පුත්තලම ප්‍රධාන මාර්ගයට පැමිණ විරෝධතාවයක නිරත වූ අතර එහිදී ඔවුන් චෝදනා කළේ කල්පිටිය - උච්චමුණේ ප්‍රදේශයේදී තහනම් දැල් භාවිත කරන ධීවරයින් පිරිසක් තහනම් දැල් භාවිත නොකරන ධීවරයින් පිරිසක් පලවා හැර ඇති බවටයි.

ඉන්පසුව ඊයේ ඔවුන් දෙවන දිනටත් ප්‍රධාන මාර්ගය කන්දකුලිය - කුරිඤ්ඤන්පිටිය ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවයේ නිරත විය.

ඒ, කල්පිටිය ප්‍රදේශයේ ලයිලා සහ සුරුක්කු දැල් භාවිත කරමින් සිදුකරන මසුන් ඇල්ලීමේ කටයුතු තහනම් කරන ලෙස ඉල්ලමිනි.

කෙසේ වෙතත්, තහනම් දැල් භාවිත කරමින් ධීවර කර්මාන්තයේ යෙදෙන බවට චෝදනා එල්ල වන ධීවරයින් පිරිසක් තහනම් දැල්වලට එරෙහිව විරෝධතාවයේ නිරත වූ පිරිසට ඊයේ සිය විරෝධය පළ කළේය.

එහිදී දෙපිරිස අතර ගැටුමක් හටගැනීමත් සමඟ ඇතිවූයේ උණුසුම්කාරී තත්ත්වයකි.

එම ගැටුම සමථයකට පත්කිරීමට එහි රැඳී සිටි පොලිස් නිලධාරීන් උත්සාහ කළද ප්‍රමාණවත් තරම් නිලධාරීන් සංඛ්‍යාවක් නොසිටීම හේතුවෙන් එම ගැටුම පාලනය කිරීමට පොලිසිය අසමත් විය. 

ගැටුමෙන් පුද්ගලයින් 07දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණු අතර, ධීවර බෝට්ටු 08 ක්, යතුරුපැදි 03 ක් සහ කුඩා ලොරි රථයක් එහිදී ගිනි තබා විනාශ කර තිබේ.

පසුව පොලිසිය සහ ප්‍රදේශයේ ආගමික නායකයින්ගේ මැදිහත්වීම මත ධීවරයින් දෙපිරිස අතර ඇතිවු ගැටුම සමථයකට පත් කෙරුණි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment