යහපාලන රජයේ ලොකුම වංචා දූෂණ 10 අද එළියට

යහපාලන රජයේ ලොකුම වංචා දූෂණ 10 අද එළියට

වර්තමාන යහපාලන ආණ්ඩුව සිදුකළ විශාලතම දූෂණ හා වංචා 10 හෙවත් 'ටොප් ටෙන්' පිළිබඳව අද (09) රටට හෙළිකරන බව එ්කාබද්ධ විපක්ෂය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රමේෂ් පතිරණ, විදුර වික්‍රමනායක, මහින්දානන්ද අලුත්ගමගේ, ජයන්ත සමරවීර, කාංචන විජේසේකර, කනක හේරත්, ශෙහාන් සේමසිංහ, සිසිර ජයකොඩි, නාමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරු මෙම දූෂණ හා වංචා පිළිබඳ තොරතුරු රැස්කළ කමිටුව නියෝජනය කරයි.

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහි ප්‍රධානියා වශයෙන් කටයුතු කරයි.

ඔවුන් කියාසිටියේ මෙහිදී වත්මන් ආණ්ඩුවේ විශාලම වංචා සිදුකරන ලද ඇමතිවරුන් 10 දෙනෙකු සිදුකළ සියලු වංචා හා දූෂණ, රාජ්‍ය දේපොළ අවභාවිතය හා මංකොල්ලකෑම් පිළිබඳ තොරතුරු මහජනතාවට ඉදිරිපත් කරන බවයි.

සොයාගත් වංචා හා දූෂණයන්ට අදාළ ලිපිගොනු ඉදිරි දින කිහිපය ඇතුළත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවට ලබාදීමටත්, ඉන් අනතුරුව විමර්ශන කටයුතු නිසි පරිදි සිදුවන්නේදැයි විමසිලිමත්ව සිටීමටත් ඔවුන් සූදානමෙන් සිටින බවද ඒකාබද්ධ විපක්ෂය පවසයි. 

එසේම මෙම වංචා හා දූෂණ අධිකරණය හමුවට ගෙනයෑමට ද ඒකාබද්ධ විපක්ෂය සූදානම් වන අතර, ඒ සඳහා ඔවුන් විසින් විශේෂ මෙහෙයුම් කමිටුවක් ද පත්කොට තිබේ.

කොළඹ, ගම්පහ, මහනුවර, කළුතර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක් නියෝජනය කරන ඇමතිවරුන් 10 දෙනෙකු පිළිබඳ මෙහිදී ඒකාබද්ධ විපක්ෂය තොරතුරු හෙළි  කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයුම් කමිටුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් මේ පිළිබඳ කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ පක්ෂ මාරු කළ ඇමතිවරුන් කිහිපදෙනෙකු ද මේ අතර වන බවයි.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව ප්‍රමුඛව පසුගිය මාස 18 ක කාලය තුළදී සිදුවූ ගනුදෙනු පිළිබඳ මෙහිදී කරුණු හෙළි කිරීමට ඔවුන් සූදානමින් සිටී.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget