විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අද(07) නියෝග කළේය.
ඒ අනුව රුපියල් දස ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ පනහ බැගින් වු ශරිර ඇප හතරක් මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
හිටපු ඇමැතිවරයකු ද වූ කරුණා අම්මාන්ට විදේශ ගමන් තහනම් කරමින් ද අධිකරණය නියෝගයක් නිකුත් කළේය. සෑම ඉරුදිනකම පොලිසියේ පෙනී සිටිය යුතු බවට ද නියම කෙරිණි.
රජයේ වාහනයක් අවභාවිත කිරීමේ චෝදනාවකට කරුණා අම්මාන් පසුගිය (29) දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අධිකරණය හමුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් හිටපු අමාත්‍යවරයාට ලබාදුන් රුපියල් කෝටි 9කට අධික වටිනාකමින් යුතු වෙඩි නොවදින රථයක් ඔහු විසින් සාවද්‍ය ආකාරයට පරිහරණය කර ඇති බවයි.
එය පොදු දේපල පනතේ යටතේ දඞුවම් ලැබිය හැකි වරදක් බව කියා සිටි මූල්‍ය අපරාධ කොට්ඨාසය ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කෙසේවෙතත් එම ඉල්ලීමට විරෝධය පළ කර ඇති කරුණාඅම්මාන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අදාළ වාහනය බාරගන්නා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයට ලිඛිතව දන්වා තිබූ බව පවසා සිටියේය.
0 comments :
Post a Comment