දූෂණ විමර්ශනයට 'විශේෂ විනිශ්චය මණ්ඩලයක්'

දූෂණ විමර්ශනයට 'විශේෂ විනිශ්චය මණ්ඩලයක්'

දූෂණ, වංචා චෝදනා විමර්ශනය කිරීම පිණිස සියලු බලතල සහිත විශේෂ විනිසුරු මඩුල්ලක් පත් කළ යුතු යයි ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

එවැනි විනිශ්චය මඩුල්ලක් පිහිටුවන මෙන් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම සමග එක්ව අඟහරුවාදා පැවති කැබිනට් රැස්වීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව අමාත්‍ය පාඨලී රණවක සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබේ.

අදාළ විනිශ්චය මණ්ඩලය පිහිටුවීම සම්බන්ධ ඉදිරි කටයුතු සඳහා කැබිනට් මණ්ඩල යෝජනාව නීතිපතිවරයා වෙත යොමුකරන ලද බවත් එහි සඳහන් වේ.

විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සඳහන් කළේ බරපතළ දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් පවතින නඩු කඩිනමින් විභාග කොට වරදකරුවන්ට දඬුවම් ලබා දීම සඳහා අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවක් ස්ථාපිත කළ යුතු යයි තමන් ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් කැබිනට් මණ්ඩලයට යෝජනා කළ බවයි.

වංචා දූෂණ සම්බන්ධයෙන් පවතින නඩු විභාග කිරීමේ ප්‍රමාදයක් පවතින බවට ජනතාව තුළ මතයක් නිර්මාණය වී ඇති බැවින් එවැනි චෝදනා කඩිනමින් විභාග කිරීමේ අවශ්‍යතාවයක් මතු වී තිබෙන බවත් අමාත්‍ය අමුණුගම මහතා පෙන්වා දුන්නේය.

දූෂණ විමර්ශන සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවන මෙන් ඉල්ලා සිටිමින් පසුගිය දෙසැම්බර් 11 වැනි දින මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කළ යෝජනාව නව විනිශ්චය මණ්ඩලය පිහිටුවීමේදී රුකුලක් වූ බවත් අමාත්‍ය චම්පික රණවක සඳහන් කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget