සාගලට දුක කියන්න ආ පොලිස් සාජන්ට පොලිස්පති කළ දේ ...

සාගලට දුක කියන්න ආ පොලිස් සාජන්ට පොලිස්පති කළ දේ ...

 

මෙම පොලිස් සැරයන්වරයා වසර 30ක දීර්ඝ සේවා ඉතිහාසයක් ඇත්තෙකි. ඔහු දිවයිනේ දුෂ්කර ප්‍රදේශ රැසක සේවයෙහි නියුතුව සිටි අයෙකි. මෑතකදී ඔහුගේ බිරිඳ පිළිකා රෝගයට ගොදුරු වී ඇත. එහෙයින් ඇයට සාත්තු සප්පායම් කරන අතරතුර ම රාජකාරියට ද යෑම සඳහා ඔහුට තම නිවසට ආසන්න පොලිස් ස්ථානයක් වෙත මාරුවීමක් ලබා ගැනීමට අවශ්‍ය විය. ඔහු ඒ සඳහා පොලිස් මූලස්ථානයට කිහිපවිටක් ම ගිය නමුත් එහි සිටි ඉහළ නිලධාරීන් ඔහුගේ දුක්ගැනවිල්ල හුදෙක් අසා සිටියා විනා කිසිදු සහනයක් ලබා දුන්නේ නැත. අවසානයේ ඔහු තීරණය කළේ විෂය භාර අමාත්‍ය සාගල රත්නායක හමුවී තම දුක්ගැනවිල්ල පවසා මාරුවීමක් ලබා ගැනීමටය. 

සාගල රත්නායක අමාත්‍යවරයාගේ මහජන දිනයට ඔහුව හමුවීම සඳහා වැඩියෙන් ම පැමිණෙන්නේ පොලිස් නිලධාරීන්ය. එහෙයින් ම ඔවුන්ගේ ගැටළුවලට සවන් දී විසඳුම් ලබාදීම සඳහා ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, ජ්‍යේෂ්ට පොලිස් අධිකාරීවරයෙක් ඇතුළු කණ්ඩායමකට තම මහජන දිනයට සහභාගී වන මෙන් අමාත්‍යවරයා උපදෙස් දී තිබේ. කිසිදු විටෙක ඊට සහභාගී වන ලෙස පොලිස්පතිවරයාට අමාත්‍යවරයා පවසා නැත. එහෙත් පොලිස්පති පූජිත් ජයසුන්දර බදාදාට කුමන වැඩ යෙදී තිබුණත් ඒවා කල්දමා කරන්නේ සාගල අමාත්‍යවරයාගේ මහජන දිනයට සහභාගී වීමය. ඒ, ඇමතිවරයාගෙන් ලකුණු ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනි. 

අප පෙරකී සැරයන්වරයා අමාත්‍ය සාගල රත්නායක හමුවට පැමිණ තම දුක කියන මොහොතේ ද පොලිස්පති පූජිත් ඒ අසල අසුනක සිට ඇත. කතාව අසා සිටි පූජිත් වහාම ඉදිරිපත් වී "සර්, මේක මට දෙන්න සර්. මං මේකට විසඳුමක් හදලා දෙන්නම්" යැයි පවසා තිබේ. අමාත්‍යවරයා ද සතුටට පත්ව සැරයන්වරයාගේ ප්‍රශ්නය පොලිස්පතිවරයාට භාර කර ඇත. 

සැරයන්වරයාත් කැඳවාගෙන අසල කාමරයකට ගිය පොලිස්පතිවරයා ඔහුගෙන් සම්පූර්ණ විස්තරය විමසා ඇති අතර සැරයන්වරයා ද බිරිඳගේ අසනීපය හේතුවෙන් තමන් පත්ව ඇති දුෂ්කරතාවය පවසා ඊට විසඳුමක් ලෙස නිවසට ආසන්න පොලිස් ස්ථානයකට මාරුවීමක් ඉල්ලා තිබේ. සියල්ල අසා සිටි පොලිස්පති එක්වරම "තමුසෙ මං කියලා තියෙන විදියට භාවනා කරනවද ?" යනුවෙන් විමසා ඇත. තරමක් අන්දමන්ද වූ නමුත් සැරයන්වරයා "ඔව් සර්. අපි සර් කියලා තියෙන වෙලාවට අනිවාර්යෙන් ම භාවනා කරනවා" යනුවෙන් පිළිතුරු දී ඇත. ඉන් අනතුරුව මාතෘකාවට අදාල නොවන බොහෝ ප්‍රශ්න විමසා ඇති පොලිස්පති පූජිත් අවසාන වශයෙන් සැරයන්වරයාගෙන් විමසා ඇත්තේ "තමුසෙට පොලිස් ගීතය කටපාඩම්ද ?" යනුවෙනි. 

මෙතෙක් වෙලා මේ විගඩමට මුහුණ දී සිටි සැරයන්වරයාගේ ද ඉවසීමේ සීමාව මේ ප්‍රශ්නයත් සමඟ ඉක්ම ගොස් තිබේ. "මං දන්න ඇති මඟුල් පොලිස් ගීතයක් නෑ සර්. අහරෙ ගෑණි මැරෙන්න වැටිලා ඉන්නවා. වතුර පොදක්වත් උන්දැට දෙන්න විදියක් නැතිව මං ඉන්නවා. සර් මෙතන විකාර කියවනවා. මං යනවා යන්න" යි කියමින් පොලිස් සැරයන්වරයා සිය ලිපිගොනුව ද රැගෙන පිටව යාම සඳහා නැගිට ඇත. ඒ මොහොතේ පොලිස්පතිවරයා, "ඕකනෙ, ඕකනෙ අයිසෙ. තමුසෙ මං කිව්ව විදියට භාවනා කරලා නෑනේ ... ඒකනෙ තමුසෙට ඔහොම තරහ යන්නේ" යි පවසා තිබේ. ලිපිගොනුවත් රැගෙන කාමරයෙන් පිට වූ සැරයන්වරයා සියල්ලන්ට ම ඇසෙන ලෙස "අනෙ එයාගෙ රෙද්දෙ භාවනාව. මගෙ කාලකණ්නි කමට ම මං ඇමතිතුමා හම්බෙන්න ආව වෙලාවෙ මේ කාලකණ්නියත් එතන හිටියානේ ..." යනුවෙන් බැන බැන යන්නට ගොස් ඇත. 

මේ කතාවත්, මෙතක් සිදුව ඇති මේ හා සමාන තවත් බොහෝ කතාත් අනුව, සාගල රත්නායක අමාත්‍යවරයාට දැන් ඇත්තේ පොලිස්පති පූජිත්ව පොලිස්පති තනතුරේ තබා ගැනීමට නොව මානසික වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment