
මෙහි තවත් පැතිකඩක් ද තිබේ. ඒ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ය.
විදුහල්පති තනතුරක් යනු රජයේ සේවයේ ඉතා වැදගත් තනතුරකි. එවැනි තනතුරක් දරණ අයට එම තනතුරේ ගරුත්වය ආරක්ෂා කිරීමේ වගකීමක් ද තිබේ. මෙවැනි නිලධාරීන් දේශපාලකයන් ඉදිරියේ වැඳවැටීම සුලබ තත්වයකි. එයින් අවමානයට පාත්‍ර වන්නේ ඔවුන් පමණක් නො වේ. එම තනතුර මෙන් ම සමස්ත රාජ්‍ය සේවය ම එයින් අවමානයට පත් වේ.
දේශපාලකයන් ඉදිරියේ වැඳ වැටෙන රාජ්‍ය නිලධාරීන් සාමාන්‍ය මහජනයා ඉදිරියේ කොයි තරම් රැස් විහිදුවණවා ද යන්න කවුරුත් දනිති.
ලංකාවේ දේශපාලනය කොයි තරම් පසුගාමී එකක් වුණත්, එහි ද හොඳ ලක්ෂණ ඇත. දේශපාලකයෝ මහජනතාවට වගකියති. එහෙත්, රජයේ සේවය සම්බන්ධයෙන් තිබෙන මූලික ප්‍රශ්නය වන්නේ රාජ්‍ය නිලධාරීන් මහජනතාවට වග නො වීමයි.
රජයේ නිලධාරීන් පුරුදු වී සිටින්නේ ම දේශපාලකයන් ඉදිරියේ කොන්ද නවා ගැනීමටයි. 2015 ජනවාරි 8 විපර්යාසයෙන් පසු මෙය යම් දුරකට පාලනය විය. සම්පූර්ණයෙන් ම පාලනය නො වුණත්, රාජ්‍ය නිලධාරීන්ට සාපේක්ෂ ස්වාධීනත්වයක් ලැබී තිබේ. එහෙත්, එය පාවිච්චි වන්නේ කුමට ද?
රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව පිළිබඳ බරපතල ප්‍රශ්න තිබේ. සේවාදායකයන් කෙරෙහි වෛරී ආකල්ප, අලසකම, වංචාව, දූෂණය හා විෂමාචාර රාජ්‍ය අංශය වසා පැතිර තිබේ. මෙම තත්වයන් වෙනස් කිරීම සඳහා කටයුතු කිරීම පිළිබඳ කිසිදු සාකච්ඡාවක් රජයේ සේවකයන්ගේ වෘත්තීය සංවිධාන ආදිය පැත්තෙන් මතු වී නැත. ඒ වෙනුවට මතු වන්නේ වැටුප් ඉල්ලීම්, තත්වය පිළිබඳ කාරණා හා වෙනත් අවුල් වියවුල් පමණි.
රජයේ සේවකයන් යනු මහජන මුදලින් වැටුප් ලබන පිරිසකි. එහෙයින් ඔවුන් පොදු මහජන අවශ්‍යතාවන් වන රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම හා ස්වාධීනත්වය ගොඩනැගීම පිළිබඳ වැඩි වගකීමකින් කටයුතු කළ යුතු ය. දේශපාලකයන් ළඟ වැඳවැටීමේ දීන සංස්කෘතිය අවසන් කිරීමට ඔවුන් ද පෙරට ආ යුතු ය. බදුල්ලේ සිද්ධියත් සමග මේ පිළිබඳ සාකච්ඡාව පෙරට ගැනීමට ඉදිරිපත් වූ රජයේ සේවකයන්ට අපගේ ශක්තිය හා ධෛර්යය පිරිනමමු.
දීනකම අයිතිවාසිකමක් නො වේ.
0 comments :
Post a Comment