හතුරු අයියා සහ මැතිව්ස් මල්ලී

හතුරු අයියා සහ මැතිව්ස් මල්ලී
මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් විවිධ මත ඉදිරිපත් කරන අතර සමහරුන් කියා සිටින්නේ ක්‍රීඩකයෙකු එවැනි ආකාරයෙන් සිය පුහුණුකරුවා ඇමතීම සදාචාර සම්පන්න නොවන බවයි. හිටපු නායක මහේල ජයවර්ධන සම්බන්ධ සිදුවීමක් ද මේ හරහා නැවත කරලියට පැමිණ තිබේ.
 
මහේල සහ ධර්මසේන කලක් එකම කණ්ඩායමේ ක්‍රීඩා කළ අතර පසුව ධර්මසේන ජාත්‍යන්තර විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළේය. කුමාර ධර්මසේන මාධ්‍යවලට පවසා ඇත්තේ මහේල සහ තමන් අතර කෙතරම් හිතවත්කමක් තිබුණද තමන් විනිශ්චයකරුවෙකු ලෙස මහේල හමු වූ පළමු තරගයේදී ඔහු තමාට සර් යනුවෙන් ආමන්ත්‍රණය කරමින් සිය ඉන්න ලබාගත් බවයි.
 
මෙම සිදුවීම් ඇඳා ගනිමින් මැතිව්ස් කෙරෙහි අප්‍රසාදය පළවී ඇති අතර බහුතරයකගේ මතය වී ඇත්තේ සිය පුහුණුකරුවාට මීට වඩා ගෞරවණීය ලෙස ආමන්ත්‍රණය කළයුතු බවයි.
 
වඩත් ගැටලු සහගත තත්වය එය නොවේ.
 
ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් අතර පවතින සබඳතාවයේ ස්වභාවය ඔවුන්ගේ කාර්යයන් නිවැරදිව ඉටු කිරීම සඳහා අතිශය වැදගත් වේ. පසුගිය කාලයේදී අප දුටුවේ පුහුණුකරුවන් සහ ක්‍රීඩකයන් ඉතා සමීපව හිතමිතුරන් මෙන් කටයුතු කරන ආකාරය. මෙය වැඩිපුරම දක්නට ලැබුනේ ග්‍රෙහැම් ෆෝඩ් මහතා පුහුණුකාරධූරයෙන් ඉවත්වීමෙන් පසු තාවකාලික පුහුණුකරු ලෙස කටයුතු කළ නික් පෝතාස්ගේ කාලයේදීය.
 
ක්‍රීඩකයන් උරෙනුර ගැටී නාන තටාකවල කෙලිදෙලෙන් කටයුතු කරන, පාපාන්දු ක්‍රීඩා කරන, සෙල්ෆි ඡායාරූප ගන්නා ආකාරය සමාජා ජාලා මාධ්‍ය ඔස්සේ අප හොඳින්ම දැක තිබේ.
 
මේ වනවිට මෙරට ක්‍රිකට් බින්දුවටම වැටී ඇති බව ක්‍රීඩාලෝලීන් සියලු දෙනා පිළිගන්නා කරුණකි. එයට ක්‍රීඩකයන්, පරිපාලනය මෙන්ම පුහුණුකරුවන් ද සෘජුව වගකිව යුතු වේ. පුහුණුකරුවන් මෙන්ම ක්‍රීඩකයන් ද සිය රාජකාරි පැහැර හැර ඇති බව පැහැදිලිය. ඒ අනුව අපට පසුගිය වසර කිහිපය තුළ අත්විඳින්නට සිදුවූයේ අමිහිරි පරාජයන් ගොන්නක් පමණි.
 
ශ්‍රී ලංක ක්‍රිකට් පාරිපාලනය විසින් පල නොකියා පලා බෙදීම හේතුවෙන් රට හැර ගිය හතුරුසිංහට වටිනාකමක් හිමිවන්නේ එවන් පසුබිමක් තුළයි.
 
බංග්ලාදේශයට ගොස් හතුරු වැඩ පෙන්වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ඔහුව අගය කරමින් මෙරට ක්‍රිකට් පරිපාලනයට චෝදනා එල්ල කළ අතර අවසානයේ හතුරුසිංහ ගෙන්වා ගැනීමට පරිපාලකයන්ට සිදුවිය.
 
හතුරුසිංහ පැමිණීමත් සමග කණ්ඩායමේ යම් යම් වෙනස්කම් සිදුවෙමින් පවතින අතර ක්‍රීඩාලෝලීන් හතුරු පිළිබඳව අහසට උසට බලාපොරොත්තු තබා තිබේ. බංග්ලාදේශ කණ්ඩායමේ පසුගිය වසර කිහිපය තුළ ඇති වූ සාර්ථකත්වය හේතුවෙන් එවැනි බලාපොරොත්තු තබාගැනීම සාධාරණය. එහෙත් ගැටලුව වන්නේ බංග්ලාදේශයේදී හතුරු ප්‍රකට කළ විස්කම් මේ භූමියේදී ඔහුට කරන්නට හැකිවේද යන්නයි.
 
බංග්ලාදේශයේදී ඔහුගේම වූ ක්‍රමවේදයකට කටයුතු කරන්නට එරට ක්‍රිකට් ආයතනය විසින් ඔහුට පූර්ණ නිදහස ලබාදුන් අතර කිසිදු ඇඟිලි ගැසීමකින් තොරව කටයුතු කිරීමට හතුරුට අවස්ථාව ලැබිණි. කණ්ඩායේම ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයෙකු වූ ෂකීබ් අල් හසන් තරග කිහිපයකින් ඉවත් කර තබන්නට තමයි ඔහු බලවත් විය. ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධයෙන් ඔහු දැඩි ලෙස සැලකිලිමත් විය.
 
කෙසේ වෙතත් මෙරටදී ඔහුට එවැනි පූර්ණ නිදහසකින් කටයුතු කරන්නට හැකිවේද යන්න ගැටලුවකි. එයට හේතුව වන්නේ පසුගිය කාලසීමාව පුරා ක්‍රිකට් පරිපාලනය සහ කළමනාකාරීත්වය පමණක් නොම ක්‍රීඩා ඇමතිවරයා පවා කණ්ඩායමේ කටයුතුවලට මැදිහත්වීමයි. එම මැදිහත්වීම්වලට තිත තැබීමට හතුරු සමත් නොවන්නේ නම් ඔහුගේ පුහුණුකාරීත්වයේ ගමනට තිත තැබීමට ඔහුට අකමැත්තෙන් හෝ සිදුවනු ඇත. අනෙක් කරුණ වන්නේ බංග්ලාදේශයේදී හතුරුගේ සහායක පුහුණකරුවන්, අභ්‍යාසකයන් තෝරාගැනීම ඔහුට අවස්ථාව හිමි වුවද දැන් කටයුතු කිරීමට සිදුව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග කලක් කටයුතු කළ සහාය පුහුණුකරුවන්, අභ්‍යාසකරුවන් සමගිනි.
 
එවැනි තත්වයක් මත ක්‍රීඩකයන්ද පුහුණුකරුවන් සමග අනවශ්‍ය සමීප පවත්වාගෙන යන්නේ නම් එය හතුරුගේ අධිකාරීත්වයට බාධාවක් වනු ඇත. පුහුණකරුවන් සිය වගකීම හරිහැටි ඉටු නොකරන බවට මෙන්ම ක්‍රීඩකයන් පුහුණුවීම් අතපසු කරන බවට පසුගිය කාලය පුරා චෝදනා එල්ල වූ අතර ක්‍රීඩා ඇමතිවරයා ද ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළේය. එමෙන්ම පසුගිය කාලය පුරාම ක්‍රීඩකයන් බහුතරයක් විවිධ ආබාධවලට ලක්වීම සහ තරගවලදී ක්‍රීඩකයන් දක්වන අතිශය දුර්වල තරග රටාව එය මැනවින් ඔප්පු කර පෙන්වයි.
 
ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් අයියලා-මල්ලිලා වීම හරහා මේ පෙන්වන්නේ තවමත් පාර වෙනස් වී නොමැති බවයි. අප හතුරුගෙන් බලාපොරොත්තු වන්නේ දශක දෙකකට පමණ පෙර සිටි ඩෙව් වොට්මෝර්ගේ වැනි ක්‍රමවේදයකි. ලකුණු 40 ක් 50 ක් රැස්කිරීමෙන් පසු ආබාධවලට ලක්වූ, සහායක දුවන්නාගේ පිහිට පැතූ රොෂාන් මහානාම දිගු ඉනිම් ක්‍රීඩා කරන පිතිකරුවෙකු බවට පත්කිරීමට වොට්මෝර්ට හැකිවිය. හතුරුගෙන්ද බලාපොරොත්තු වන්නේද එවැන්නකි.
 
හතුරු සිය අධිකාරීත්වය ක්‍රීඩකයන් මත පැතිරවීමට අසමත් වන්නේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් කඩාවැටීම් තවදුරටත් සිදුවනු ඇත. එපමණක් නොව බංග්ලාදේශයේදී හතුරු රැස් කරගත් ලකුණු එකින් එක කැපී ගොස් ඔහු නිකන්ම නිකං හතුරු අයියා කෙනෙකු වනු ඇත.
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget